උන්ට බෑ කියපු සියයට 0.07

උතුරු කොරියාව කී සැණින් සිහියට නැගෙන්නේ, කිම් ජොන් උන් සහ ඔහුගේ න්‍යෂ්ටික වැඩසටහනය. එම න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් උතුරු කොරියාව ඉරානය මෙන්ම, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල උදහසට ලක්වී සිටී. ඒ දශක ගණනක් තිස්සේය. ඒ නිසාම, උතුරු කොරියාව ද සම්බාධකවලට මුහුණ දෙයි. ඉරානයේ සමීප මිතුරකු වීමට උතුරු කොරියාවට හේතුවක් වූයේ ද එයයි. ඉරානය ඔවුන්ගේ මිසයිල වැඩසටහන කරගෙන යන්නේ උතුරු කොරියාවේ සහාය ඇතිව බව ලොවට රහසක් නොවෙයි. ඇමෙරිකා ඊශ්‍රායල ඉරාන යුද්ධයේ දී, ඉරානයේ සිටින එක් උතුරු කොරියානුවකුට හෝ අනතුරක් සිදුවුවහොත්, යුදෙව් ඊශ්‍රායලය සැණින් සුනුවිසුණු කළ හැකි ප්‍රබල මිසයිලයක් තමන් ඉරානයට දෙන බව නායක කිම් ජොන් උන් පවසා ඇත. එය, එසේ මෙසේ ප්‍රකාශයක් නොවෙයි. උතුරු කොරියාව සතුව නොයෙක් වර්ගයේ බැලැස්ටික් මිසයිල ඇත. ඒවාට පහසුවෙන් න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැක. කිලෝ මීටර් 5,000 ක දුරකට විදිය හැකිය.
මේ කතාව උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන හෝ එරට මිසයිල වැඩසටහන ගැන හෝ නොවෙයි. ඔබ දන්නවාද පසුගිය දා උතුරු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි. උතුරු කොරියාවේ සිටින්නේ ඒකාධිපතියෙක් නොවේද? එරට පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙනවාද? මෙවැනි සිතුවිලි ඔබට සිතෙන්නට පුළුවනි. ඇත්ත. උතුරු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙයි. උතුරු කොරියාවේ පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘මහජන උත්තරීතර මණ්ඩලය’ යනුවෙනි. මැතිවරණ පැවැත්වෙන්නේ මහජන උත්තරීතර මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීමටය.
උතුරු කොරියානු මැතිවරණ බලධාරීන් ප්‍රකාශ කළේ, ඡන්ද දායකයන්ගෙන් සියයට 99.99 ක් ඡන්දය ප්‍රකාශ කළ බවය. අවසන් ප්‍රතිඵල අනුව, නායක කිම් ජොන් උන් සහ ඔහුගේ පාලක කම්කරු පක්ෂයට හිමිවුණු ඡන්ද ප්‍රතිශතය සියයට 99.93 කි. සියයට 0.07 ක් කිම් ජොන් උන්ට සහ කම්කරු පක්ෂයට විරෝධය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කර තිබුණි. ලෝකයේ අවධානය යොමු වූයේ කිම් උන් ජොන්ට ඡන්දය දුන් සියයට 99.93 කෙරෙහි නොව, ඡන්දය නොදුන් සියයට 0.07 කෙරහිය. නායක උන්ට ඡන්දය නොදුණු, නායක කිම් ජොන් උන්ගේ පාලනය ප්‍රතික්ෂේප කළ සියයට 0.07 ගැනය. ඔවුන් කවුරුන්ද? මේ වනවිට ඔවුන් යහතින් සිටිනවාද? මෙය ගැටලුවකි.
උතුරු කොරියානු උත්තරීතර මණ්ඩලයේ ආසන සියල්ල, එනම් ආසන හයසිය අසූ හතම නායක උන්ගේ කම්කරු පක්ෂය සතු විය. වෙන රටවල නම්, පාලක පක්ෂයට 99.93 ක ඡන්ද හිමිවීම සහ පාර්ලිමේන්තුවේ ආසන සියල්ල එකම පක්ෂයක් විසින් ජයග්‍රහණය කරනු ලැබීම මතභේදයට කරුණක් වන අවස්ථා ඇත. ඒත් උතුරු කොරියාවේ එය එසේ නොවෙයි. උතුරු කොරියානුවන්ට එය සැණකෙළියකි. තරුණ තරුණියන්ට කොරියානු ධජ වනමින්, ලස්සන, වර්ණවත් ඇඳුම්වලින් සැරසී වීදි බැස නර්තනයේ යෙදීමට ඇති අවස්ථාවකි.
උතුරු කොරියාවේ එකන් ආසනයක් වෙනුවෙන් සැමවිටම ඉදිරිපත් වන්නේ එක් අපේක්ෂකයකු පමණි. ඒ අපේක්ෂකයාට පාලක කම්කරු පක්ෂයේ අනුමැතිය ලැබිය යුතුය. ඡන්ද දායකයන් ඒ අපේක්ෂකයාට අකමැති නම්, ඔහුට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතුය. අපේක්ෂකයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම යනු පාලක කම්කරු පක්ෂයට සහ නායක උන්ට විරුද්ධ වීමකි. විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම ද රහසේ කළ හැකි දෙයක් නොවෙයි. පාලක කම්කරු පක්ෂයට විරුද්ධව යෑම ජීවිතයෙන් වන්දි ගෙවීමකි. නොදුන් සියයට 0.07 ගැන බටහිර රටවල් කනස්සල්ල පළ කර ඇත්තේ මේ නිසාය.
1957 වසරෙන් පසු, පාලක කම්කරු පක්ෂයට මේ අයුරින් විරුද්ධව ඡන්දය පළ කිරීමක් සිදුවුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. මේ බව උතුරු කොරියානු රජයේ මාධ්‍ය පවා අනාවරණය කර ඇත. කෙසේ නමුත්, නායක උන්ගේ පාලක පක්ෂය මෙම සියයට 0.07 ගැන කිසිදු තැකීමක් කරන්නේ නැත. බටහිර මාධ්‍ය අපට නිරන්තරයෙන් පවසන්නේ, උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ රජය ඉතා දළදඩු බවය. කිම් ජොන් උන්ට විරුද්ධ වන්නේ නම්, හමුදාවට විරුද්ධ වන්නේ නම්, රටට ද්‍රෝහි වන්නේ නම්, අත්වන්නේ කුරිරු මරණයකි. එසේ නම්, මේ සියයට 0.07 සොයා ඔවුන් මරා දැමීම සිදුවුණාද? එය නොදනී. බටහිර රටවල්, ඒ සියයට 0.07 ගැන කතා කරන්නේ ආඩම්බරයෙනි. ඔවුන් වීරුවන් ලෙස හඳුන්වා දී ඇතැයි ද පැවැසෙයි. උතුරු කොරියානු පාර්ලිමේන්තුවට තේරී පත්වුණු සියයට 75 කට වැඩි නියෝජිතයන් තරුණ නියෝජිතයන්ය. එපමණක් නොව ඔවුන් නායක කිම් ජොන් උන්ට දැඩි ලෙස පක්ෂපාතී අලුත් මුහුණු වීම ද විශේෂත්වයකි.
අද අප දකින උතුරු සහ දකුණු කොරියාව වසර දහස් ගණනක් තිස්සේ එකම සංස්කෘතියක්, එකම භාෂාවක් සහ එකම උරුමයක් බෙදාගත් එකම රටකි. දෙරටේ වැසියන්ගේ ආගම ද එකමය. ඒත් අවාසනාවකට, මේ එකම ජාතිය දෙකඩ වූයේ ලෝක දේශපාලනික බල අරගලයක් හමුවේ, මීට දශක කිහිපයකට පෙරය. විසිවන සියවස මුල් භාගයේදී කොරියාව පැවතියේ ජපානයේ යටත් විජිතයක් ලෙසය. වසර 35ක ජපාන පාලනය අවසන් වූයේ 1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වෙද්දී, ජපානය පරාජය වීමත් සමඟය. ජපානයෙන් නිදහස ලැබූ කොරියාවට තමන්ගේම පාලනයක් පිහිටුවා ගැනීමට අවස්ථාව ලැබුණ ද, එදා ප්රධාන ලෝක බලවතුන් දෙදෙනා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය ඊට මැදිහත් විය.
දෙවන ලෝක යුද්ධය අවසානයේ සෝවියට් දේශය, ඔවුන්ට මායිම්ව පිහිටන කොරියාවේ උතුරු ප්‍රදේශ, ඇමෙරිකාව කොරියාවේ දකුණු ප්රදේශයත් පාලනය කිරීමට තීරණය කළේය. මේ සඳහා ඔවුන් කොරියානු සිතියමේ ‘38 වන සමාන්තර රේඛාව’ යන නමින් මායිමක් ලකුණු කළේය. මෙය තාවකාලික බෙදීමක් ලෙස සැලකුණත්, නිරවි යුද්ධයේ ආරම්භයත් සමඟ උතුරේ සෝවියට් හිතවාදී කොමියුනිස්ට් පාලනයක් සහ දකුණේ ඇමෙරිකන් හිතවාදී ප්රජාතන්ත්රවාදී පාලනයකුත් ස්ථාපිත විය.
1950 වසරේ දී උතුරු කොරියාව මුළු අර්ධද්වීපයම තම පාලනයට නතු කරගැනීමේ අරමුණින් දකුණු කොරියාව, උතුර ආක්රමණය කළේය. හටගත් යුද්ධය වසර තුනක් තිස්සේ පැවතිණි. මිලියන ගණනකට ජීවිත අහිමි විය. 1953 දී දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් අත්සන් කෙරුණද, එය සාම ගිවිසුමක් නොවීය. දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිවරයා වන්නේ ලී ජේ මයුංග් ය. ඔහු නම්යශීලී ජනාධිපතිවරයෙකි. පවතින සටන් විරාමය සාම ගිවිසුමකට පෙරළන්න දකුණු කොරියානු ජනාධිපතිවරයා උතුරු කොරියානු රජය සමග සාකච්ඡා පවත්වමින් සිටී.
උතුරු කොරියාව නිල වශයෙන් හැඳින්වෙන්නේ, මහජන ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු ජනරජය යනුවෙනි. වර්තමාන ලෝකයේ පවතින වඩාත ම රහසිගත සහ මධ්‍යගත පාලනයක් සහිත රාජ්‍යය ලෙස සැලකෙන්නේ ද උතුරු කොරියාවය. උතුරු කොරියාවේ පාලනය 1948 වසරේ සිට කිම් පරම්පරාව සතුව පවතී. මෙම පරම්පරාවේ ආරම්භකයා කිම් ඉල්-සුං ය. මොහු වත්මන් නායක කිම් ජොං උන්ගේ සීයා ය. ලෝකයේ එකම පරම්පරාගත කොමියුනිස්ට් පාලනයක් ඇත්තේ උතුරු කොරියාවේය. නායක කිම් ජොං උන් රජයේ, හමුදාවේ සහ පාලක පක්ෂයේ නිරපේක්ෂ නායකයා වන අතර, ඔහුගෙන් තොරව කිසිදු තීරණයක් රට තුළ ක්‍රියාත්මක නොවෙයි. රටේ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබන්නෙ කොරියානු කම්කරු පක්ෂය මගිනි. උතුරු කොරියානු පාලනයේ මූලික පදනම ජුචේ නමැති දේශපාලන දර්ශනයයි. මෙයින් අදහස් කරන්නේ ස්වයංපෝෂිත බව යන්නය. බටහිර සම්බාධක මැද උතුරු කොරියාව නොසැලී සිටින්නේ ඔවුන්ගේ මෙම ස්වයංපෝෂිත බව නිසාය. උතුරු කොරියානු රජයේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ‘සොන්ගුන්’ හෙවත් ‘හමුදාවට මුල්තැන’ දීමේ ප්‍රතිපත්තියයි.
මැතිවරණයෙන් පසු පාලක කම්කරු පක්ෂයේ මහ සමුළුව යොංග්යැංග් අගනුවරදී පැවැත්විණි. එහිදී ලෝකයේම අවධානය යොමු වූයේ නායක කිම් ජොන් උන්ගේ 13 හැවිරිදි දියණිය කෙරෙහිය. කිම් ජොන් උන්ගෙන් පසු ඔහුගේ උරුමක්කාරයා වනු ඇත්තේ ඇයයි. ඇය කිම් ජූ අයි ය. නායක කිම් ජොන් උන් දියණිය ද කැටුව උතුරු කොරියාවේ ගිනි අවි නිෂ්පාදන කම්හලක් නිරීක්ෂණයට ගියේය. එම අවස්ථාවෙදී, ඇය එම ගිනි අවි කම්හලේ නිෂ්පාදිත පිස්තෝල පරීක්ෂා කිරීමට පියා කිම් ජොන් උන් ට සහාය වූයේ පියා සහ සෙසු ජනරාල්වරුන් ද සමග ඉලක්කයට වෙඩි තබමිනි. ඊට අමතරව, උතුරු කොරියා හමුදාවට එක් කළ නව.ම යුද ටැංකි පරීක්ෂාවට ලක් කළ කිම් ජූ අයි ඒවා පැදවීමට ද අමතක කළේ නැත.
බීබීසී ඇසුරිනි

