හයිටියේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට



දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද අස්ථාවර හයිටි රාජ්‍යයේ, පෝට්-ඕ-ප්‍රින්ස් අගනුවරට දකුණින් පිහිටි කෙන්ස්කොෆ් ගොවිජන ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. 

'විව් අන්සම්' නමැති බිහිසුණු අපරාධ කල්ලිය මෙම ප්‍රදේශයේ පාලනයට සියතට ගෙන ඇති අතර, ඔවුන් එල්ල කළ මාරක ප්‍රහාරයකින් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඇමෙරිකාව 'විව් අන්සම්' සන්නද්ධ අපරාධ කල්ලිය ත්‍රස්ත කල්ලියක් ලෙස ද නම් කර තිබේ.

දශකයකට වැඩි කාලයකට පසු ප්‍රථම වතාවට මහ මැතිවරණයක් පැවැත්වීමට හයිටි රාජ්‍යය මේ වනවිට සූදානම් වෙයි. එවැනි පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වුණු බව පැවැසෙයි. 'විව් අන්සම්' අපරාධ කල්ලි සාමාජිකයන්, දේවස්ථානයක් සහ නිවාස ගිනි තබමින් වැසියන් ඝාතනය කළ බව කෙන්ස්කොෆ් නගරාධිපති ෂෝන් මැසිලෝන් ප්‍රකාශ කර ඇත. ඝාතනයට ලක්වූවන් අතර, හයිටියේ ප්‍රමුඛ පෙළේ මහජන සෞඛ්‍ය විශේෂඥයකු වන ෂෝන් විලියම් පාප් ද සිටී.

මේ වනවිට හයිටි අගනුවර ප්‍රදේශ රැසක බලය ඇත්තේ ද මෙම 'විව් අන්සම්' කල්ලියට බව ඇමෙරිකාව පවසයි. මෙම කල්ලිය විදේශ තානාපති කාර්යාල, සුඛෝපභෝගී හෝටල් සහ තාවකාලික රාජ්‍ය පරිපාලන මධ්‍යස්ථාන පිහිටි පෙටියොන්-විල් නගරයට ප්‍රවේශ වන ප්‍රධාන මාර්ග ද අවහිර කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබන ආරක්ෂක බලකායක් එරට පොලිසියට සහාය පිණිස ක්‍රියාත්මක වුවද, සාමාජිකයන් 5,500 කගෙන් සමන්විත විය යුතු එම බලකාය තවමත් පූර්ණ ධාරිතාවට පැමිණ නොමැති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව මෙම අපරාධ කල්ලියේ ප්‍රහාර හේතුවෙන් හැයිටියේ මිලියන 1.5 කට අධික පිරිසක් අවතැන් වී ඇති අතර, මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ පමණක් පුද්ගලයන් 3,100 කට වැඩි පිරිසක් මියගොස් ඇත.


RECOMMEND POSTS