සොලෙයිමානිගේ ලේලිය අත්අඩංගුවට

ඝාතනයට ලක් වූ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ හිටපු ප්‍රධානී ජෙනරාල් කාසම් සොලෙයිමානිගේ ලේලිය සහ ඇයගේ දියණිය අත්අඩංගුවට ගත් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
හමීඩා සොලෙයිමානි අෆ්ෂාර් සහ ඇයගේ දියණියට හිමිව තිබූ ඇමරිකානු ස්ථිර පදිංචි බලපත්‍ර (Green Card) අවලංගු කිරීමට රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, සොලෙයිමානිගේ දියණිය මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ සිය පියා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
රාජ්‍ය ලේකම් රූබියෝ සඳහන් කර ඇත්තේ, මෙම කාන්තාවන් දෙදෙනා දැනට ඇමරිකානු ආගමන හා රේගු බලාත්මක කිරීමේ අංශය (ICE) භාරයේ පසුවන අතර ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමට නියමිත බවයි. 2015 වසරේදී සංචාරක වීසා මත ඇමරිකාවට පැමිණ ඇති මොවුන්, 2019 වසරේදී දේශපාලන රැකවරණ ලබාගෙන ඇති බවත් 2021 වසරේදී ස්ථිර පදිංචි බලපත්‍ර ලබාගෙන ඇති බවත් වාර්තා වේ.
මොවුන් සම්බන්ධයෙන් සැකය මතු වී ඇත්තේ 2025 වසරේදී ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලුම් කිරීමේදී හෙළි වූ තොරතුරු මතය. එහිදී හමීඩා සොලෙයිමානි අෆ්ෂාර්, තමා ස්ථිර පදිංචි බලපත්‍රය ලැබීමෙන් පසු සිව් වතාවක් ඉරානයට ගොස් ඇති බව අනාවරණය කර ඇත. 2020 වසරේදී එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් මත ඉරාකයේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ජෙනරාල් සොලෙයිමානි මියගිය අතර, ඔහු ඉරානයේ සිටි බලවත්ම හමුදා නායකයා ලෙස සැලකේ.

