විද්‍යාඥයන්ට වැරදුණු ඩයිනසෝරයා

මොන්ටානා (Montana) යනු ඇමරිකා එක්සත් ජනපදයේ වයඹදිග ප්‍රදේශයේ පිහිටා ඇති ඉතා සුවිශේෂී ජනපදයකි. මෙහි අගනුවර ලෙස සැලකෙන්නේ හෙලීනා (Helena) ය. මොන්ටානා ජනපදය සුවිශේෂ වන්නේ, එහි විශාලත්වය, ස්වභාවික සෞන්දර්යය සහ ඉතිහාසය නිසාය. ඉතිහාසය ගැන කතා කරද්දී, මොන්ටානා ජනපදය, පොසිල විද්‍යාඥයන්ට දොර කවුළු විවර කරයි. ඒ, අවුරුදු මිලියන ගණනක් ඈත අතීතයට නෙත් යොමු කිරීමටය.
ඩයිනසෝරයන් සම්බන්ධයෙන් මොන්ටානා ජනපදය අතිශය ප්‍රකටය. ඩයිනසෝර ෆොසිල සම්බන්ධයෙන් ලෝකයේ වැදගත්ම කැණීම් සිදුවී ඇත්තේ මොන්ටැනා ජනපදයේය. නව ඩයිනසෝර විශේෂ රැසක් හඳුනා ගැනීමට මොන්ටානා ජනපදයේ නැගෙනහිරින් පිහිටා ඇති හෙල් ක්‍රීක් කැණීම් භූමිය (Hell Creek Formation), ට්‍රයිසෙරටොප්ස් (Triceratops), එඩ්මොන්ටෝසෝරස් (Edmontosaurus) සහ ටයිරැනසෝරස් රෙක්ස් (Tyrannosaurus Rex) හෙවත් ටී රෙක්ස් (TRex) වැනි අප කවුරුත් හොදින් දන්නා ඩයිනසෝරයන්ගේ පොසිල සොයා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකටය. ලොව පළමු ටී රෙක්ස් පොසිලය 1902 දී සොයාගනු ලැබුවේත් මෙම භූමියෙනි.
අවුරුදු මිලියන ගණනාවක් ඈත අතීතයේ, මෙම භූමියේ ඩයිනසොර්යන් දෙදෙනකු අතරේ සටනක් පැවැතිණි. සටන අතරතුරේ ඩයිනසෝරයෝ දෙදෙනාම මියගියහ. දෙදෙනාගෙන් එක් අයකු ශාක භක්ෂක ට්‍රයිසෙරටොප්ස් ඩයිනසෝරයකි. අං තුනක් ඇති ට්‍රයිසෙරටොප්ස්, ශාක භක්ෂකයකු වුවත්, සතුරු තර්ජනයකදී ඌ තියුණු අං යොදා ගනිමින් සටන් කිරීමට හපනෙකි. අනෙක් ඩයිනසෝරයා ප්‍රමාණයෙන් කුඩා ටී රෙක්ස් ඩයිනසෝරයෙකි. මෙම භූමියෙන් මීට පෙර ටී රෙක්ස් ඩයිනසෝර පොසිල අස්ථි හමුවී ඇති නිසා, පොසිල විද්‍යාඥයන් ඔවුන්ට හමුවුණු පොසිල අස්ථි අනුව, අනුමාන කළේ හමුවුණු මෙම ඩයිනසෝරයා ගැටවර වියේ එසේත් නැතිනම් තරුණ වියේ පසුවුණු ටී රෙක්ස් ඩයිනසෝරයකු කියාය.
මේ සිතුවිල්ල වසර ගණනාවක් තිස්සේ පොසිල විද්‍යාඥයන් අතරේ මුල් බැසගෙන තිබුණි. ඩයිනසෝරයන් ගැනකතා කරද්දී, ට්‍රයිසෙරටොප්ස් සහ මෙම තරුණ ටී රෙක්ස් අතරේ සිදුවුණු මාරක සටන සැමවිටම කරළියට පැමිණියේය. ඩයිනසෝරයන් සම්බන්ධ පත පොතවල පවා මේ ගැන සවිස්තර විස්තර පළ වී ඇත. ඒත් දැන් තරුණ ටී රෙක්ස් ඩයිනසෝරයකුගේ යැයි විශ්වාස කෙරුණු පොසිල අස්ථි පුළුල් ලෙස පරීක්ෂණවලට යොමු වී ඇත. ඒ අනුව, විද්‍යාඥයන් දැන් පවසන්නේ සටන් කරද්දි මියගිය ඒ ඩයිනසෝරයා, ටී රෙක්ස් කෙනකු නොව, අලුත් ඩයිනසෝර විශේෂයකට අයත් සතකු බවය. ටී රෙක්ස් පවුලට අයත් මෙම ඩයිනසෝරයා ටී රෙක්ස්ට වඩා ප්‍රමාණයෙන් කුඩාය. විද්‍යාඥයන් මෙම ඩයිනසෝරයා නම් කර ඇත්තේ නැනෝටයිරැනුස් ලැන්සෙන්සිස් (Nanotyrannus lancensis) යනුවෙනි.
මෙම අනාවරණය, ඩයිනසෝර පරිණාමයේ ප්‍රධාන පරිච්ඡේදයක් නැවත ලිවීමට තුඩු දී ඇති බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. එපමණක් නොවෙයි, ඩයිනසෝර ලෝකයේ රජු ලෙස සැලකෙන ටී රෙක්ස් පිළිබඳ විද්‍යාඥයන් සිතා සිටි දේ නැවත ප්‍රශ්න කිරීමට ද මෙය හේතුවක් වී ඇත. “තරුණ ටී රෙක්ස් කෙනකු යැයි සිතා අප මෙම පොසිල අස්ථි කොටස් භාවිතයට ගනිමින්, ටී රෙක්ස් ගැන අනුමාන කිරීම් රැසක් කළා. දැන් ඒ සියල්ල වෙනස් කරන්න සිද්ධ වෙනවා. ටී රෙක්ස් සම්බන්ධ පර්යේෂණ උඩුයටිකුරු කරන්න මේ නව අනාවරණය සමත් වෙනවා.” යැයි උතුරු කැරොලිනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක මෙන්ම උතුරු කැරොලිනා ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ පාෂාණ විද්‍යා ප්‍රධානී මහාචාර්ය ලින්ඩ්සේ සැන්නෝ වැඩිදුරටත් පැහැදිලි කරයි.
මොන්ටානා කැණීම්වලින් හමුවුණු පොසිල අස්ථි ගැඹුරින් පරීක්ෂා කරද්දී, අස්ථි කොටස්වල වර්ධන වළලු (Growth Rings), කොඳු නාරටියේ සන්ධාරණය (Fusion) සහ අස්ථිවල ක්ෂුද්‍ර ව්‍යුහය (Microstructure) සැලකිල්ලට ගැනුණි. පොසිල අස්ථි කොටස් ඩිජිටල් ස්කෑන් පරීක්ෂණවලට යොමු කෙරුණි. AI තාක්ෂණයෙන්, පරීක්ෂණ සිදුවිය. ඒ අනුව, පොසිල විද්‍යාඥයන්, ඩයිනසෝරයාගේ ජෛව විද්‍යාත්මක කාල රේඛාවක් සකස් කරනු ලැබුණි. ඒ අනුව තහවුරු වූයේ ඩයිනසෝරයා ළාබාල ටී රෙක්ස් කෙනකු නොව, හොඳින් වැඩුණු වයස අවුරුදු 20 ක් පමණ වූ මේරූ සත්ත්වයනු බවය.
ටී රෙක්ස්ට ඇත්තේ කුඩා අත් (ඉදිරිපස ගාත්‍රා) වුවත්, නැනෝටයිරැනුස් ලැන්සෙන්සිස් (Nanotyrannus lancensis) යනුවෙන් නම් කළ මෙම ඩයිනසෝරයාගේ අත් දිග විය. පොසිල අස්ථි කොටස් අනුව, හිස් කබලේ ස්නායු නාලිකා ටී. රෙක්ස්ගේ ස්නායුවලට වඩා වෙනස් හැඩයකින් යුක්ත විය. එමෙන්ම, එහි වලිගයේ අස්ථි ප්‍රමාණය අඩු විය. එසේ වන්නේ, අස්ථි සෑදී වර්ධනය වී ඒවා ස්ථාවරය තත්වයට පත් වීමෙන් පසුවය. හොඳින් මේරූ වැඩිහිටි සත්වයකු බව තහවුරු වූයේ ඒ අනුවය.
Earth.com ඇසුරිනි

