ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් තාවකාලිකව අවසන්

ඉරානය සමඟ ඇති කර ගැනීමට අපේක්ෂිත ‘සාම වැඩපිළිවෙළට’ ප්‍රවේශයක් ගැනීමේ අරමුණින්, ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය.
ජනාධිපති ට්‍රම්ප්, ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ යන නමින් මෙහෙයුමක් ආරම්භ කළේ ඉරානයේ තර්ජන මැද හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකා මුදා ගැනීමටය. ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ මෙහෙයුම තාවකාලිකව අත්හිටවූවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය පිවිසුමෙන් අවහිර කරමින් තමන් යොදවා ඇති ඇමෙරිකන් නාවික හමුදා බලඇණි ඉවත් කර නොගන්නා බව ට්‍රම්ප් අවධාරණය කර ඇත.
‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ මෙහෙයුම ආරම්භ කළ අවස්ථාවේදී ඇමෙරිකන් නාවික හමුදාව සහ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අතරේ වෙඩි හුවමාරු පවා සිදුවිය.
‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ මෙහෙයුම ආරම්භ කරනවා යැයි කී සැණින්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය, එමිරේට්ස් රාජ්‍යයේ වරායකට සහ තෙල් ගබඩා සංකීර්ණයකට ඉරාන හමුදාව ඩ්‍රෝන සහ මිසයිල පහර දුන්නේය. ඉරානය එමිරේට්ස් රාජ්‍යයට එල්ල කළ ප්‍රහාර ඉන්දියාව ඇතුළු රටවල් රැසක විරෝධයට පවා හේතු විය.
ඇමෙරිකා ඉරාන යුද්ධය නැවැත්වීමට සාම මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයයි. තවත් මැදපෙරදිග රටවල් කීපයක් ද හවුල් කර ගනිමිනි. පාකිස්තානය සහ එම රටවල් දිගින් දිගටම කළ ඉල්ලීමට කන් දෙමින් තමන් ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ මෙහෙයුම තාවකාලිකව නතර කළ බව ට්‍රම්ප් පැහැදිලි කර ඇත. ඒ, සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමිණි.
“ඉරානය සමග සාම ගිවිසුමකට යෑමට උත්සාහ ගන්නවා. එය කළ හැකිදැයි බැලීමට අප කෙටි කාලයකට මෙහෙයුම නවතා දැමීමට තීරණය කළා’ යැයි ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් ගිණුම ඔස්සේ පැහැදිලි කර ඇත.

