ඉරාන සාම යෝජනාව කිසිසේත්ම පිළිගන්න බෑ

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද සාම යෝජනාවලට ඉරානය ලබාදුන් ප්‍රතිචාරය ‘කිසිසේත් අනුමත කළ නොහැකියි’ යැයි ඇමෙරික ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ දිග් ගැස්සෙන, ඇමෙරිකා ඉරාන ගැටුම් අවසන් කිරීමට ඇමෙරිකාව මෙන්ම ඉරානය ද සාම යෝජනා ඉදිරිපත් කර ඇත. දෙපාර්ශ්වය අතරේ සාකච්ඡා පැවැත්වෙන්නේත්, පණිවුඩ හුවමාරු සිදුවන්නේත් පාකිස්තානයේ මැදිහත් වීමෙනි. පාකිස්තානය ඇමෙරිකා ඉරාන යුද්ධයට මැදිහත් වී සිටින්නේ සාම නියෝජිතයකු ලෙසය.
සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ ඉරානය අතර පවතින මත ගැටුම් හේතුවෙන් කලාපීය සාමය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් අවම වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමන කටයුතු මුළුමනින්ම පාහේ අඩපණ වී ඇත. ඒ ඉරානයත්, ට්‍රම්ප්ගේ අණ පරිදි ඇමෙරිකන් නාවික හමුදාවත්, හෝමූස් සමුද්‍ර සන්දිය අවහිර කර ඇති බැවනි.
සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය අඩාල වීම හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ඉහළ ගොස් ඇති අතර, ඉරානය සහ ලෙබනනය පුරා යුද ගැටුම්වලින් සිදු වූ විනාශය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් පවතී.
ඉරානය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දිගින් දිගටම ඉල්ලන්නේ කොන්දේසි විරහිතව හෝමූස් විවෘත කළ යුතු බවත්, ඇමෙරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් සිදුවුණු හානියට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය වන්දි ගෙවිය යුතු බවත්ය. ට්‍රම්ප් මෙම ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කරයි.

