ඇමෙරිකාව ඉරාන නැවක් අල්ලා ගනී



හෝමූස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා තරමින් තිබුණු ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිට ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පැවැසීය.

මේ වනවිට ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා, ඒ හරහා යාත්‍රා කිරීමට අවසර දී ඇත්තේ ඔවුන්ට හිතවත් භාණ්ඩ සහ තෙල් නෞකාවලට පමණි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බල කර ඇත්තේ කොන්දේසි විරහිතව සැමට හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ යුතු බවය. හෝමූස් හරහා යන නෞකාවලින් ගාස්තු අය කර ගැනීමට පවා ඉරානය සූදානමින් සිටී.

ඉරානය හෝමූස් වසා දැමීමත් සමග ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, හෝමූස් සමුද්‍ර සන්ධියේ පිවිසුම අවහිර කළේය. ඒ, ඇමෙරිකන් නාවික හමුදාව යොදවමිනි. ඇමෙරිකාව එසේ කළේ ඉරාන නෞකාවලට ඉරාන නැව්තොටුපොළවලට යෑමට නොහැකි වන ආකාරයටය.
ඇමෙරිකන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ‘ටොවුස්’ නමැති ඉරාන ධජය යටතේ යාත්‍රා කරමින් තිබුණු භාණ්ඩ ප්‍රවාහන යෝධ නෞකාවකි. මෙහි දිග අඩි 900 කි. තම නෞකාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉරානය දැඩි විරෝධය පළ කර ඇත්තේ ඇමෙරිකන් හමුදා මූදු කොල්ලකරුවන් යැයි චෝදනා නගමිනි.
ට්‍රම්ප් පවසා ඇත්තේ ආපසු හරවා යන්නැයි ඇමෙරිකන් නාවික හමුදාව ‘ටොවුස්’ නෞකාවට දැනුම් දුන් බවත්, නෞකාව එම අනතුරු ඇඟවීම ගණන් නොගත් බැවින්, ඇමෙරිකන් නාවික හමුදාව එය අත්අඩංගුවට ගත් බවත්ය.


RECOMMEND POSTS