ට්‍රම්ප්ගෙන් කැනඩාවට සහනයක්

කැනඩා භාණ්ඩ සඳහා සියයට 50කට වැඩි බද්දක් පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය, තාවකාලිකව අත්හිටුවිණි. ඒ, ට්‍රම්ප් සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි අතරේ පැවැත්වුණු සාකච්ඡාවලින් පසුවය.
දෙරටටම වාසිසහගත ලෙස එකගතායක් ඇති තර ගැනීමට සාකච්ඡා දිගටම සිදුවන බවත්, ඇමෙරිකාන් ඩොලර් බිලියන 20.2 ක් වටිනා කැනඩා අපනයන මත පැනවීමට තිබූ බදු, ලබන අගෝස්තු 22 වැනිදා තෙක් කල් දැමූ බවත් කැනඩා අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.
බදු ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අවසන් මොහොතේ ගත්, මෙම තීරණය හේතුවෙන් ඉලෙක්ට්‍රොනික උපාංග, කාර්මික යන්ත්‍ර සූත්‍ර, ගෘහ භාණ්ඩ, කිරි නිෂ්පාදන සහ වයින් ඇතුළු කැනඩා අපනයන ක්ෂේත්‍ර රැසකට විශාල සහනයක් හිමිවනු ඇතැයි පැවැසෙයි.
මීට අමතරව, මීට පෙර අත්හිටුවා තිබූ ‘කීස්ටෝන් එක්ස්.එල්’ තෙල් නල මාර්ග ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම කෙරෙහි ද ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි අතරේ සාකච්ඡා විය.
කැනඩාවේ ඇල්බර්ටා සිට ඇමෙරිකාවේ නෙබ්‍රාස්කා දක්වා දිනකට බොර තෙල් 830,000 ක් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතිය, 2021 දී එවකට ජනාධිපති ධුරය හෙබවූ ජෝ බයිඩන් විසින් අවලංගු කරනු ලැබ තිබුණි.

