එ.ජා. මියන්මාර තානාපති මරන්න හදලා



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර රැදී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාර තානාපති යෝව් මෝ ටන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි ඇමෙරිකාවේ මියන්මාර ජාතිකයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

නිව්යෝක් නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව, අත්අඩංගුවට ගෙන ඇත්තේ යෝ හෙයින් ටට් සහ යේ හින් සෝ නමැති මියන්මාර ජාතිකයන් දෙදෙනා මෙසේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවය. යෝ හෙයින් ටට් සහ යේ හින් සෝ දෙදෙනාට මියන්මාර හමුදා පාලකයන්ගෙන් මුදල් ලැබී ඇති බවත්, මුදල් ලැබී ඇත්තේ ඇමෙරිකාව තුළ යෝව් මෝ ටන් ඝාතනය කිරීමට බවත්, නිව්යෝක් පොලිසිය සිදු කළ විමර්ශනවලින් මේ වනවිට අනාවරණය වී තිබේ.

මියන්මාර හමුදාව, කුමන්ත්‍රණය කරමින්, රටේ බලය අල්ලා ගත්තේ පසුගිය පෙබරවාරි පළමු වැනිදාය. හමුදාව රටේ බලය අල්ලා ගත්තේ, මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී සහ ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකයන් නිවාස අඩස්සියට පත් කරමිනි.

රාජ්‍ය ද්‍රෝහී චෝදනා සූ කී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ට එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් සූ කී ඇතුළු පිරිසට එරෙහි නඩු විභාග ද පැවැත්වෙයි.

යෝව් මෝ ටන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාර තානාපති ලෙස මියන්මාර හමුදාව සහ හමුදාව කළ කුමන්ත්‍රණය දැඩි ලෙස විවේචනය කළ අයෙකි. මියන්මාර හමුදා රජය, කුමන්ත්‍රණය කරමින් බලය අල්ලා ගත් අවස්ථාවේදී, එක්සත් ජාතීන්ගේ තානාපති ධුරයෙන් යෝව් මෝ ටන් ට ඉවත් වෙන්නැයි පැවැසුව ද ඔහු එසේ නොකළේය.

මියන්මාර හමුදා පාලනයට එරෙහිව එරට සිවිල් වැසියන් ගෙන යන අරගලය හමුවේ හමුදා ප්‍රහාරවලින් මියයන සිවිල් වැසියන් සහ කුඩා දරුවන් ගැන ලොවට හෙලි කර ඇත්තේ ද යෝව් මෝ ටන් ය. ඔහු මියන්මාර හමුදා පාලකයන්ගේ උදහසට ලක් වී ඇත්තේ ඒ නිසාය.

(රොයිටර්)


RECOMMEND POSTS