තෙවැනි චාල්ස් රජු යුක්රේනය වෙනුවෙන් හඬ නගයි



රුසියන් යුක්රේන අර්බුදයේ දී, යුක්රේනයට අවශ්‍ය හැකි සෑම අයුරින්ම සහාය දැක්විය යුතු යැයි ජර්මන් ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මයර් හමුවෙමින්, තෙවැනි චාල්ස් රජු පැහැදිලි කර තිබේ.

ජර්මනිය, එක්සත් රාජධානිය සමඟ යුක්රේනය වෙනුවෙන් පෙනී සිටින බව එම අවස්ථාවේදී ජර්මන් ජනාධිපතවරයා තෙවැනි චාල්ස් රජුට පැවැසූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
එක්සත් රාජධානියේ රජු ලෙස කිරුළ හිමි තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින, ජර්මනියේ බර්ලීන් අගනුවරට පැමිණ සිටින්නේ, ඔවුන්ගේ පළමු විදෙස් සංචාරය ආරම්භ කරමිණි.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු ඇගේ වැඩිමල් පුතු ලෙස චාල්ස් කුමරුන්ට රජ කිරුළ හිමිවූයේ පසුගිය වසරේය. තෙවැනි චාල්ස් ලෙස කිරුළ හිමිවීමත් සමඟ බිරිඳ කැමිලා පාකර් ආදිපාදවරිය ‘රැජින’ යන විශේෂ ගෞරව නාමයෙන් පිදුම් ලැබුවාය.

බර්ලීන් ගුවන්තොටුපොළට පැමිණි රාජකීය යුවළ පිළිගැනීම සිදුවූයේ හමුදා උත්තමාචාර මධ්‍යයේය. ජර්මන් ගුවන් හමුදාව ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් ගුවන් සංදර්ශනයක් ද පැවැත්වීය. එම අවස්ථිවේදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිදානය කර තිබුණේ ද ජර්මන් ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මයර්ගේ මැදිහත් වීමෙනි.

චාල්ස් රජු සහ කැමිලා රැජින යුරෝපා සංචාරයක් ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ප්‍රංශයේ පැරිස් නුවරිනි. කෙසේ නමුත් විශ්‍රාම යැවීමේ වයස් සීමාව වෙනස් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ගත් තීරණයට විරෝධය පළ කරමින් පැරිස් අගනුවර විරෝධතා පැවැත්වෙයි. එහෙයින්, පැරිස් සංචාරය අවලංගු කෙරුණු අතර, රාජකීය යුවළ ජර්මනිය බලා පැමිණියහ.

(රොයිටර්)


RECOMMEND POSTS