පිලිපීන හමුදා යානා අනතුරින් 50 ක් මරුට



පිලිපීන ගුවන් හමුදාවට අයත් ගුවන් යානය අනතුරට පත්වීමෙන් 50 දෙනකු මියගිය බවත්, 48 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. තුවාලකරුවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.

ඊයේ (4) අනතුරට පත්වූයේ සී 130 හර්කියුලිස් වර්ගයේ සොල්සාසුවන් සහ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා දැවැන්ත හමුදා ගුවන් යානයකි. අනතුරට පත්වුණු මෙම යානය පිලිපීනයට ලැබී ඇත්තේ ඇමෙරිකන් හමුදාවෙනි. මීට අමතරව, පිලිපීන හමුදාවට ඇමෙරිකාවෙන් පරිත්‍යාගයක් ලෙස තවත් මෙවැනිම සී 130 යානයක් ලැබී ඇතැයි අල් ජසීරා පුවත් සේවය පවසයි.

යානය පුහුණුවීම් අවසන් කිරීමෙන් හමුදාවට අලුතින් එක්වුණු සොල්දාදුවන් රැගෙන දකුණු පිලිපීනයේ සූලු ගුවන් හමුදා කඳවුරට පැමිණ ඇත. යානය අනතුරට පත් වූයේ ගුවන්පථය මඟ හැරීමෙනි. ඒය දෙකඩ වී ගිනිගෙන පුපුරා ගියේය.

ගුවන් පථය මඟහැරී නියමුවන්ගේ පාලනයෙන් ගිලිහුණු යානය අනතුරට පත්වෙද්දී, යානය තුළ සිටි සොල්දාදුවන් කීප දෙනකු පණ බේරා ගනිමින් යානයෙන් පිටතට පැන ඇතැයි ද පැවැසෙයි.

යානයේ නියමුවන් තිදෙනකු සිටි අතර බරපතල තුවාල ලැබූ ඔවුන් දිවි ගලවා ගත් බවත් සූලු හමුදා කඳවුරේ ප්‍රධානී මේජර් ජනරාල් විලියම් ගොන්සාලේස් පවසා ඇත. සිදුවූයේ අනතුරක් බවත්, කඩාකප්පල් ක්‍රියාවක් හෝ ත්‍රස්ත ක්‍රියාවක් හෝ නොවන බවත් හමුදා ප්‍රධානියා අවධාරණය කර තිබේ. කෙසේ නමුත් අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි.

මැනිලාහිදීය (රොයිටර්)‍


RECOMMEND POSTS