හොන්ඩුරාස් රාජ්‍යය තායිවානය අමතක කර චීනයට ළං වෙයි



දශක ගණනක්, තායිවානය සමඟ පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අමතක කොට චීනය සමඟ නව සබඳතා ආරම්භ කිරීමට ලතින් ඇමෙරිකාවට අයත් හොන්ඩුරාස් රාජ්‍යය කටයුතු කළේය.

චීනය සලකන්නේ තායිවානය එරට කොටසක් බවය. එහෙයින් තායිවානය සමඟ සෙසු රටවල් සබඳතා පැවැත්වීම චීනයේ විරෝධයට හේතුවකි. හොන්ඩුරාස් රාජ්‍යය චීනය අමතක කර, දශක ගණනක් තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීය. කෙසේ නමුත් එම සබඳතා මේ වනවිට මුළුමනින්ම අවසන් බව මාධ්‍ය වාර්තා කර තිබේ.

හොන්ඩුරාස් රාජ්‍යය ආර්ථික අර්බුදවලින් පීඩාවට පත් වී සිටී. තමන්ට ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5 ක ණයක් දෙන්නැයි හොන්ඩුරාස් රජය තායිවාන රජයෙන් ඉල්ලා සිටියේ මීට මාසයකට පමණ පෙරය.

කෙසේ නමුත් එම ඉල්ලීම තායිවානය ප්‍රතික්ෂේප කළේය. තායිවානය සමඟ සබඳතා අවසන් වීමටත්, චීනයට ළං වීමටත් හොන්ඩුරාස් රජය තීරණය කළේ ඒ නිසා විය හැකි යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

(රොයිටර්)


RECOMMEND POSTS