බයිඩන්ගෙන් මැක්රොන්ට ඇමතුමක්




ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට දුරකතන ඇමතුමක් ලබා දුන් බවත්, දෙරට අතර පළුඳු වූ සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට රාජ්‍ය නායකයන් දෙදෙනා සමත් වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් හවුල් කර ගනිමින්, 'අවුකුස්' යන නමින් නව ආරක්ෂක සහයෝගීතාවක් ඇතිකර ගත්තේය. ඒ, චීනයෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමටය.

'අවුකුස්' සහයෝගීතාව හරහා ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතරේ ඔවුන් සතු උසස් මෙන්ම නවීන තාක්ෂණය බෙදා ගැනීමක් සිදුවෙයි. ඊට අමතරව, ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලැති සබ්මැරීන ලබා දීමටත්, න්‍යෂ්ටික බලැති සබ්මැරීන ඕස්ට්‍රේලියාවේ නිපදවීමටත් ඇමෙරිකාව සහාය ලබා දෙයි.

ඕස්ට්‍රේලියාව මීට පෙර ප්‍රංශය සමඟ ගිවිසුමක් ඇති කර ගනිමින්, සබ්මැරීන් නිර්මාණයට සූදානම් වූ නමුත් 'අවුකුස්' ආරක්ෂිත සහයෝගීතා ගිවිසුමට ඔවුන් එක් වුණු බැවින්, ප්‍රංශය සමඟ ගිවිසුම අහෝසි කර දැමුණි. ඕස්ට්‍රේලියාව ප්‍රංශය සමඟ මෙම ගිවිසුම ඇති කර ගැණුනේ 2016 දීය.

ගිවිසුම අහෝසි කිරීම හේතුවෙන් ප්‍රංශ රජය, ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු විය. ඇමෙරිකාවෙන්, මහා බ්‍රිතාන්‍යයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් තම තානාපතිවරුන් ආපසු ගෙන්වා ගැනීමට ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් කටයුතු කළේය.

බයිඩන් සහ මැක්රොන් අතර පැවැති දුරකතන කතාබහේදී දෙදෙනා මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමටත් 'සබ්මැරීන' අර්බුදට විසඳා ගැනීමටත් එකඟ විය. ආපසු ගෙන්වා ගත් තම තානාපතිවරයා ඇමෙරිකාවට යැවීමට ද ප්‍රංශ ජනාධිපති මැරක්රොන් පසුව තීරණය කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS