‘කොවිඩ් 19’ තවමත් ගෝලීය හදිසි තත්ත්වයක්



‘කොවිඩ් 19’ වයිරස වසංගතය තවමත් ගෝලීය හදිසි තත්ත්වයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පැවැසුවේ, ‘කොවිඩ් 19’ වසංගතය අවසන් වුණැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟය.

බයිඩන් මෙම ප්‍රකාශය කළේ ‘සික්ස්ටි මිනිට්ස්’ නමැති දේශපාලන වැඩසටහනට එක් වෙමිනි. ඔහු කීවේ, ඇමෙරිකානුවන් මුහුණු ආවරණ පැලැඳීම නවතා ඇති බවත්, කොවිඩ් 19 වසංගතය ඇමෙරිකාවේ අවසන් බවත්ය.

ජනාධිපති බයිඩන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ ද පැහැදිලි කිරීම් ඉදිරිපත් කර ඇත. ඒ, වයිරසය අඩපණ වෙමින් පවතින නමුත් එය සම්පූර්ණයෙන් අවසන් වී නොමැත යනුවෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද ජිනීවා නුවර පිහිටි ඔවුන්ගේ මූලස්ථානයේදී හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ‘කොවිඩ් 19’ වසංගතය තව දුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස සලකන බවය. කෙසේ නමුත් මේ වනවිට සිටියේ ‘කොවිඩ් 19’ වසංගතය කෙමෙන් අවසන් වීමට පටන් ගෙන ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශකයෙක් අවධාරණය කළේය.

සාර්ථක එන්නත් වැඩසටහන් හරහාත්, යහපත් සෞඛ්‍ය පුරුදු හරහාත් වසංගතය අවසන් කළ හැකි බව එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

(රොයිටර්)


RECOMMEND POSTS