සෙනට් මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික්වරුන්ට



ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රසයේ සෙනට් මණ්ඩලයේ බලහ තහවුරු කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇත.

සෙනට් සභික කෝටීස් මාස්ටෝ නෙවාඩා ජනපදයෙන් නැවත තේරී පත්වීමත් සමඟ මෙලෙස ඩිමොක්‍රටික් පක්ෂයට සෙනට් මණ්ඩලයේ බලය හිමිවන බව එඩිසන් පර්යේෂණ ආයතනය සෙනසුරාදා පුරෝකථනය කළේ ය.

මේ අනුව ජනාධිපති ජෝ බයිඩන්ට බහුතර ජයග්‍රහණයක් හිමි වී තිබේ.

කෙසේ නමුත් රිපබ්ලිකන් පක්ෂය ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණයේ අවසන් ඡන්ද විමසීම පසුගිය අඟහරුවාදා (8) පැවැත්වුණු අතර තවමත් ඡන්දය ගණන් කරමින් තිබේ.

කෝටීස් මාස්ටෝ තියුණු සටනකින් පසුව රිපබ්ලිකන් පක්ෂයේ ඇඩම් ලැක්සෝල්ට් පරාජයට පත් කරමින් සෙනට් මණ්ඩලයට තේරී පත්විය. ඇඩම් ලැක්සෝල්ට් හිටපු ජනපද නීතිපතිවරයෙකි. මැතිවරණය සඳහා ඔහුගේ නම යෝජා කරන ලද්දේ එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

මාස්ටෝගේ ජයග්‍රහණයත් ඩිමොක්‍රටික් සෙනට් සභික මාර්ක් කෙලි ඇරිසෝන් ජනපදයෙන් නැවත තේරී පත්වීමත් සමඟ සෙනට් මණ්ඩලයේ ආසන 50ක බලය ඩිමොක්‍රටික් පක්ෂය සතු වේ. උප ජනාධිපති කමලා හැරිස් සෙනට් සභිකයකු ලෙස ගණන් ගැනෙන නිසා ඩිමොක්‍රටික් පක්ෂයට සෙනට් මණ්ඩලයේ බලය හිමි වේ. ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් මණ්ඩලය ආසන 100කින් සමන්විත වන අතර ආසන ගණන සම වුවහොත් උප ජනාධිපතිවරයාගේ ආසනය ගණන් ගැනේ. ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෙනට් මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ උප ජනාධිපතිවරයා ය. කෙසේ නමුත් උප ජනාධිපතිවරයාට ඡන්දයක් නොමැත. ඡන්දයක් හිමි වන්නේ ආසන ගණන සම වුවහොත් පමණි.

“අපි ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබන බව ඇමෙරිකාව පෙන්නුම් කළා. ප්‍රජාතන්ත්‍රවාදයේ අක්මුල් ඉතා ම ගැඹුරු යි. ඒ වගේම ශක්තිමත්” යැයි සෙනට් සභාවේ බහුතරයේ නායක චක් ෂූමර් පැවැසීය. චක් ෂූමර් ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයකු වන වන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව පැවැසීය.

සෙනට් මණ්ඩලයේ ආසන සංඛ්‍යාව මේ වනවිට ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර ආසන 50-50 ලෙස බෙදී ගොස් තිබේ. තේරී පත්වූ සෙනට් මණ්ඩලය ජනවාරි 3 වැනිදා දිවුරුම් දීමට නියමිත ය.

සෙනට් මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට ලැබීමත් සමඟ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ටත් අමතර බලයක් හිමි වන අතර ඔහු නම් කරන ෆෙඩරල් විනිසුරුවරුන් ඇතුළු නාමයෝජනා සම්මත කරගැනීමට ද හැකියාව ලැබේ. ඉදිරි වසර දෙකක කාලයේ දී පුරප්පාඩුවක් නිර්මාණය වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ද විනිසුරුවරුන් පත් කිරීමට අවස්ථාව ලැබේ.

ජෝර්ජියා ජනපදයේ සෙනට් සභිකයා තෝරාගැනීම සඳහා දෙසැම්බර් 6 වැනිදා අමතර ඡන්ද විමසීමක් පැවැත්වෙන අතර එහිදි ඩිමොක්‍රටික් පක්ෂ සෙනට් සභික රෆායල් වර්නොක් ජයග්‍රහණය කළහොත් ඩිමොක්‍රටික් පක්ෂයට සෙනට් මණ්ඩලයේ බහුතරය හිමිවනු ඇත.

එසේ වුවහොත් සෙනට් මණ්ඩලයේ ආසන සංඛ්‍යාව 51ට 49ක් වනු ඇත. සෙනට් සභික රෆායල්ගේ ප්‍රතිවාදියා වී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ හර්ෂල් වෝකර් ය.

ඩිමොක්‍රටික් පක්ෂ සෙනට් සභික රෆායල් ජයග්‍රහණය කළහොත් එහිදි ඩිමොක්‍රටික් පක්ෂයට අමතර වාසියක් අත්වන අතර එමඟින් ඇතැම් කෙටුම්පත් සරල බහුතරයකින් සම්මත කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. බොහෝ කෙටුම්පත් සම්මත කරගැනීම සඳහා ඡන්ද 60ක් අවශ්‍ය වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS