ලුතින් උණ රෝගීන් වාර්තා වීමක් නෑ



මැයි මාසයෙන් පසු, උණ රෝගීන් කිසිවකු වාර්තා වී නැතැයි උතුරු කොරියාව පවසයි. උතුරු කොරියාව 'උණ රෝගීන්' ලෙස හඳුන්වා දෙන්නේ 'කොවිඩ් 19' කොරෝනා රෝගීන්ය.

උතුරු කොරියා සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් එරට රාජ්‍ය මාධ්‍ය පසුගිය 30 වැනිදා වාර්තා කළේ ගත වුණු පැය 24 ඇතුළත කිසිදු උණ රෝගියකු වාර්තා නොවුණු බවය. ඒ අනුව, 'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය අවසන් බව ද සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

උණ රෝගීන් ලෙස මිලියන 4.8 ක් හඳුනා ගැණුනු අතර, එයින් සියයට 99.99 ක් පූර්ණ සුවය ලබා සිටින බව ද පැවැසෙයි. මරණ වාර්තා වී ඇත්තේ 74 ක් පමණි.

උතුරු කොරියාවේ ජනගහනය මිලියන 26 කි. 'කොවිඩ් 19' වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, 2020 වනවිට එය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, උතුරු කොරියාව ඔවුන්ගේ දේශසීමා වසා දැම්මේය. ඒ අනුව, මෙම වසරේ ජනවාරිය වනතුරු 'කොවිඩ් 19' ආසාදිතයකු උතුරු කොරියාවෙන් වාර්තා නොවිණි. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර තිබුණි.

කෙසේ නමුත් මෙම වසර ආරම්භයේ උතුරු කොරියාව පුරා 'උණ රෝගයක්' ඉතා වේගයෙන් ව්‍යාප්ත විය. අප්‍රේල් මාසය වනවිට එම 'උණ රෝගය', 'කොවිඩ් 19 ඔමික්‍රෝන්' බව තහවුරු විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS