යළිත් කොරෝනා හැදුණු බයිඩන් යහතින්



'කොවිඩ් 19' ආසාදනය වී, සුවය ලබා යළි සුපුරුදු රාජකාරි ආරම්භ කිරීමට සූදානම් වෙද්දී දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වූ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

'කොවිඩ් 19" ප්‍රතිශක්තිකරන් එන්නත් පළමු සහ දෙවැනි මාත්‍රා ද ඉන්පසු පළමු සහ දෙවැනි බූස්ටර් එන්නත් මාත්‍ර ද ලබා ගෙව ඇති ජෝ බයිඩන් පළමු වරට 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය ජූලි 21 වැනිදාය.

ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර්ගේ උපදෙස් අනුව 79 හැවිරිදි බයිඩන් ධවල මන්දිරයේ නිරෝධායනය විය. බයිඩන්ගේ වයස සැලකිල්ලට ගනිමින්, වෛද්‍යවරුන් බයිඩන්ට 'පැක්සොලිඩ්' වයිරස නාශක ඔසුව නිර්දේශ කළේය. 'පැක්සොලිඩ්' යනු 'ෆයිසර්' සමාගම 'කොවිඩ් 19' ආසාදිතයන් ඉක්මනින් සුවපත් කිරීමට නිපදවූ ඔසුවකි.

උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදන බයිඩන්ගේ රෝග ලක්ෂණ වූ අතර ඒ කිසිවක් බරපතල නොවිණි. පසුගිය බ්‍රහස්පතින්දා (28) සහ සිකුරාදා (29) බයිඩන් 'කොවිඩ් 19' පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර එම පරීක්ෂණ 'නෙගටිව්' විය. බයිඩන්ගේ සිරුරේ 'කොවිඩ් 19' යළි ඉස්මතු වී ඇතැයි අනාවරණය වූයේ පසුගිය 30 වැනිදා සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේදීය.

මෙවර තමන් හොඳ නිරෝගී තත්ත්වයෙන් පසුවන බවත්, වෛද්‍ය නිර්දේශ යටතේ තමන් නිරෝධායනයට ලක් වූයේ තමන්ගෙන් තමන් වටේ සිටින අය ආරක්ෂා කර ගැනීමට බවත් බයිඩන් ට්විටර් පණිවුඩයකින් පවසා ඇත. ජනාධිපති බයිඩන් ගැන පැය 24 පුරා විමසිල්ලෙන් පසුවන බව ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS