බ්‍රසීල ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට විරෝධය



‘ඔමික්‍රෝන්’ විකෘතිය සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ කළ ප්‍රකාශයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වී ලොව පුරා ව්‍යාප්තවීම සිදුවුණු දා පටන්, වයිරසය අවතක්සේරු කළ ලෝක නායකයකු ලෙස බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ සැලකෙයි. ලොව වැඩිම ‘කොවිඩ් 19’ මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

ජනාධිපති බොල්සරානෝ ද ‘කොවිඩ් 19’ ආසාදනය වී තිබේ. ජනාධිපති බොල්සරානෝ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත්වලට විරෝධය දක්වන්නෙකි. එන්නත් කෙරෙහි විශ්වාසයක් නැති රාජ්‍ය නායකයෙකි.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘ඔමික්‍රෝන්’ ගැන බියවියයුතු නැති බවත්, ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන්ට පවා බ්‍රසීලය විවෘත බවත්, ‘ඔමික්‍රෝන්’ විකෘතිය බිහිවූයේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් කිරීමට බවත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විරෝධයටත් අප්‍රසාදයටත් හේතුවී ඇත්තේ මෙම ප්‍රකාශයයි.

‘ඔමික්‍රෝන්’ විකෘතිය බිහිවූයේ ‘කොවිඩ් 19’ අවසන් කිරීමට යැයි පැහැසිය නොහැකි බවත්, ඉදිරියට තව තවත් විකෘති ප්‍රභේද බිහිවීමේ අවදානමක් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS