ටිබෙට් පරිසර පද්ධතිය ගැන චීනයට තැකීමක් නෑ



චීනය, ටිබෙටයේ පරිසර පද්ධතිය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන බවත් ටිබෙටය, කුණු දමන ස්ථානයක් ලෙස සලකමින් කටයුතු කරන බවත් වාර්තා වේ.

චීනය නිකුත් කළ වාර්තාවක් සහ තවත් මූලාශ්‍ර භාවිත කරමින් ටිබෙය ප්‍රවෘත්ති පත්‍ර ඇතුළු මාධ්‍ය රැසක් මේ බව වාර්තා කර ඇත.

“1951 සිට ටිබෙටය: නිදහස, සංවර්ධනය සහ බීජිං නුවරින් සෞභාග්‍ය” යනුවෙන් චීනය ටිබෙටය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර ඇත.

චීනය, ටිබෙටයේ කරන පරිසර විනාශය සම්බන්ධයෙන් එහි කිසිදු සඳහනක් නොමැති බවත්, ඇල වේලි හා අමුණු ඉදි කිරීම, විවිධ යටිතල පහසුකම් ව්‍යාපෘති කිරීම යනාදි සංවර්ධන කටයුතු ගැන පමණක් එහි සඳහන්ව ඇතැයි ද ටිබෙට් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වාර්තාවෙන් චීන රජය සම්බන්ධයෙන් යහපත් චිත්‍රයක් පෙන්නුම් කර ඇතැයි ටිබෙට් මාධ්‍ය වාර්තා කරයි.

ඉහත කී සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ගංඟා සිඳී යෑම, ග්ලැසියර දියවීම, නිත්‍ය හිම තුහින දිය වී යෑම, ගංවතුර, තණ බිම් නැති වීම යනාදී විනාශ රැසකට මඟ පාදන බව ද එම මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

මේ කරුණු සැලකිල්ලට ගැනීමේ දී ෂී ජින්පින්ග් පාලනය යටතේ දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් තිබෙන ද එම වාර්තාවල දැක්වේ.

දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සමුළුවේ පාර්ශවකරුවන්ගේ සම්මේලනයක් ඉකුත් වසරේ පැවැත්විණි. ග්ලාස්ගොව් නුවර පැවැති මෙම සමුළුවට චීන ජනාධිපතිවරයා සහභාගී නොවූ අතර එම නිසා ඔහුට දැඩි විවේචනයක් එල්ල විය.

එපමණක් නොව පරිසර විනාශයට වැඩිම දායකත්වයක් දක්වන රටක් ලෙසත් විවේචනයට ලක්ව තිබේ. පරිසරය ආරක්ෂා කිරීමට විවිධ ගිවිසුම්වලට අත්සන් තැබුව ද චීනය කාබන් වායු විමෝචනය වැඩියෙන් සිදුවන රටක් ලෙස සැලකේ.

ටිබෙටය චීනයේ පරිපාලනයට තිබෙන ප්‍රදේශයකි. ටිබෙටය ආරක්ෂා කිරීම හෝ ඒ සඳහා අවශ්‍ය දෑ සැපයීම වෙනුවට චීනය ටිබෙටය කුණු බැහැර කරන ස්ථානයක් ලෙස සලකා කටයුතු කරන බවත් ටිබෙටයේ අවදානම් එහෙත් ඉතා ආවේණික සහ සුවිශේෂී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට චීනය කිසිවක් නොකරන බවත් ටිබෙට් මාධ්‍ය වාර්තා කරයි. ‍

(ටිබෙට් මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS