ජනපති බයිඩන්ගේ නිවසින් තවත් රහස් ලියවිලි හමුවෙලා



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ටන් පිහිටි නිවසින්, තවත් රහස් වාර්තා හයක් හමුවී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

නිවසේ තිබී හමුවූයේ, බයිඩන්, 1973 සිට 2009 තෙක් කාලයේ ඩෙලවෙයාර් ජනපදය නියෝජනය කරමින් සෙනෙට් සභිකයකු ලෙස කටයුතු කරද්දී, ඔහු අතට පත් වුණු රහස් ලියවිලි හයක් බව බයිඩන්ගේ නීතීඥ බොබ් බවර් පෙන්වා දී ඇත.

බයිඩන්ගේ නිවසේ තිබී මීට පෙර අවස්ථා දෙකකදී ද රහස් ලියවිලි හමුවිය. එම ලියවිලි බයිඩන්, 2009 සිට 2017 තෙක් කාලයේ උප ජනාධිපති ලෙස කටයුතු කරද්දී ඔහු අතට පත් වුණු ලියවිලි බව පැවැසෙයි. ජෝ බයිඩන් ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දීය.

රහස් ලියවිලි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වීමට පටන් ගත්තේ පසුගිය දෙසැම්බරයේ සිටය. පළමුවෙන් ලියවිලි තොගයක් හමුවූයේ බයිඩන්ට අයත් පෞද්ගලික කාර්යාලයකිනි. ඒ, පසුගිය නොවැම්බරයේ එම කාර්යාලය වසා දමද්දීය.

එම කාර්යාලයේ තිබී යුක්රේනය, ඉරානය, එක්සත් රාජධානිය සම්බන්ධයෙන් රහස් ලියවිලි තිබුණු බව නීතිපති මෙරික් ගාලන්ඞ් පවසා තිබුණි. නීතිපතිවරයාගේ මැදිහත් වීමෙන් එම ලියවිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණි. විමර්ශන මෙහෙයවන්නේ ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් යැයි නීතිපති මෙරික් ගාලන්ඞ් පවසා තිබේ.

2017 සිට 2019 තෙක් කාලයේ බයිඩන්, පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ගරු මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ අතර, විශ්ව විද්‍යාලයේ රාජ්‍ය තාන්ත්‍රික සහ ගෝලීය කටයුතු පිළිබඳ කාර්යාලයක් බයිඩන්ට හිමිවිය. පළමුවෙන්ම ලියවිලි හමුවූයේ එම කාර්යාලයෙනි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS