චීටා ආයෙත් ඉන්දියාවට



වසර 70 කට පසු ඉන්දියාවේ ජාතික වනෝද්‍යානවලට යළිත් වරක් චීටා සතුන් හඳුන්වාදීමට ඉන්දීය රජය සහ එරට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජංම දිනය ඊයේ (17) ට යෙදී තිබුණු අතර, ඒ නිමිත්තෙන්, අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන්, නැමිබියාවෙන් ගෙනා චීටා සතුන් අට දෙනකු ඉන්දියාවේ කූනෝ ජාතික වනෝද්‍යානයට මුදා හැරීම සිදුවිය.

අප්‍රිකානු රාජ්‍යයක් වන නැමීබියාව, චීටා සතුන්ට ප්‍රසිද්ධියක් උසුලයි. වැඩිම චීටා ජනගනයක් ඇත්තේ ද නැමීබියාවේය. ඉදිරියේ දී තවත් චීටා සතුන් නැමීබියාවේ සිට ඉන්දියාවට ගෙන ඒමට ඉන්ධීය රජය සූදානම් වෙයි.

චීටා සතුන් අට දෙනා වනෝද්‍යානයට මුදා හැරීම සිදුවූයේ ඔවුන් මාසයක කාලයක් නිරෝධායනය කිරීමෙන් අනතුරුවය. චීටා යනු මහ බළල් පවුලට අයත් සාමාජිකයකු වන අතර ගොඩබිම වෙසෙන වැඩිම වේගයකින් දිවිය හැකි සත්වයා වන්නේ ද චීටාය. චීටාට පැයට කිලෝ මීටර් 113 ක වේගයකින් දිවිය හැකිය.

අතීතයේ අප්‍රිකා මහද්වීපයේ පමණක් නොව, ඉන්දියාවේ වනාන්තරවල ද චීටා සතුන් වාසය කළ බව පැවැසෙයි. ඉන්දියාවෙන් චීටා සතුන් සඳහටම වඳවී ගොස් ඇත්තේ 1952 වසරේ සිටය. මිනිසුන් විසින් චීටා සතුන් ඉවක් බවක් නොමැතිව දඩයම් කිරීම ඊට එක් හේතුවක් බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS