අලුත් මාධ්‍ය ප්‍රකාශිකාවක්



ධවල මන්දිරයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස 44 හැවිරිදි කළු ජාතික කාන්තාවක වන කැරීන් ජෝන් පියේ නම් කිරීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන ඇත.

ඒ අනුව, ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට කළු ජාතික කාන්තාවක පත් වන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක යනු ඇමෙරිකන් ජනාධිපතිවරයා වෙනුවෙන් රටේ මාධ්‍ය සමඟ සහ ජගත් මාධ්‍ය සමඟ සම්බන්ධ වන ජනාධිපතිවරයාගේ පරිපාලනයේ ප්‍රධාන මුහුණුවරය.

ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස කටයුතු කරමින් සිටින 43 හැවිරිදි ජෙන් සාකී එම තනතුරින් ඉවත් වීමට නියමිතය. ඇය මේ බව ප්‍රසිද්ධියට පත් කළේ මීට සති කීපයකට පෙරය. සාකීගේ ඉවත් වීම සිදුවනු ඇත්තේ ලබන සති අන්තයේය.

ජෙන් සාකී සිය තනතුරෙන් මෙන්ම ධවල මන්දිරයෙන් ද සමුගෙන යන්නේ ඇයට 'එම්එස්එන්බීසී' මාධ්‍ය නාළිකාවේ ඉහළ තනතුරක් හිමිවී ඇති බැවිනි. සාකී මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස කටයුතු කරද්දී, නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස කටයුතු කළේ කැරීන් ජෝන් පියේ ය.

ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා ධුරයට සුදුසුම තැනැත්තිය කැරීන් ජෝන් පියේ යැයි ඇයට සුබ පතමින් ජෙන් සාකී ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS