ට්‍රම්ප්-බයිඩන් සටන



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බැටකන ඇමෙරිකාවේ ජනාධිපතිවරණය හෙට (3) පැවැත්වෙයි.

රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර, ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ජෝ බයිඩන්ය.

77 හැවිරිදි බයිඩන්, ඔබාමා පරිපාලනය සමයේදී (2009 සිට 2017 දක්වා) උප ජනාධිපති ධුරය හෙබවූයේය. බයිඩන්, සෙනෙට්සභික කමලා හැරිස්, සිය උප ජනාධිපති ලෙස තෝරා ගෙන ඇත. කමලා හැරිස්, දකුණු ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවකි.

බයිඩන් ජයග්‍රහණය කළහොත් කමලා හැරිස්, ඇමෙරිකාවේ උප ජනපති ධුරයට පත්වන්නේ එම ධුරයට පත්වන පළමු කාන්තාව ලෙසය. 74 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ වත්මන් උප ජනපති ධුරය හොබවන මයික් පෙන්ස් යළිත් එම ධුරය වෙනුවෙන් තරග වදී.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරයේ කේන්ද්‍රස්ථානය ඇමෙරිකාවය. වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. කොරෝනා හේතුවෙන්, ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ සෞඛ්‍ය නිර්දේශවලට අනුවය. කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට ද ඇමෙරිකානුවන්ට අවස්ථාවක් ලබා දී තිබුණි. ඒ අනුව, පසුගිය සති අන්තය වෙද්දී, මිලියන 80 ක් දෙනා ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

ට්‍රම්ප් සහ බයිඩන් ද ඒ අතර වෙති. මීට පෙර පැවැත්වුණු ජනාධිපතිවරණ මෙන් නොව, මෙම ජනාධිපතිවරණයට වැය කෙරෙන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 14 කි. ඒ අනුව, ඇමෙරිකන් ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කෙරෙන ජනාධිපතිවරණය වන්නේ ද මෙයයි. ඇමෙරිකාවෙන් වයිරස රෝගීන් බුරුතු පිටින් හමුවෙද්දී, ට්‍රම්ප් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශය කළේය. ඒ, පසුගිය මාර්තු 13 වැනිදාය. එසේ වුවත්, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීම අසීරු විය. ඇමෙරිකාවේ කොරෝනා ඔඩුදුවන්න හේතුවූයේ ජනපති ට්‍රම්ප් ප්‍රමුඛ ඔහුගේ පරිපාලනය වයිරසය නිසි ලෙස කළමණාකරණය නොකළ බැවින් යැයි චෝදනා එල්ල වී තිබේ.

වයිරස වසංගතය මැද, වයිරස වසංගතයට නොදෙවැනි වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියා ඇමෙරිකාව වෙළාගත්තේය. ඒ, ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ඇමෙරිකානුවා සුදු පොලිස් නිලධාරියකු අඩන්තේට්ටම් හමුවේ ඝාතනයවීම මුල්කොට ගනිමිනි. ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ ප්‍රධාන නගර පුරා ‘බ්ලැක් ලයිව්ස් මැටර්’ යන තේමාව යටතේ විරෝධතා ඇරැඹිණි. කළු සුදු භේදයකින් තොරව, ඇමෙරිකානුවෝ ඊට එක් වූහ. එම විරෝධතා ප්‍රචණ්ඩ වෙද්දී, අවනීතිය රජ කරන්න විය. ප්‍රචණ්ඩ විරෝධතාකරුවන් මර්දනයට පොලිසිය යෙදවීමට ට්‍රම්ප් ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දීම ගින්නට පිදුරු දැමීමක් විය.

2016 වසරේ ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රණය කළේ, චීනය විසින් උදුරා ගනු ලැබූ ඇමෙරිකානුවන්ගේ රැකියා නැවත ඇමෙරිකානුවන්ට ලබා දෙන බවට ප්‍රතිඥා කරමිණි. එම ප්‍රතිඥාව යම්තාක් දුරකට ඉටු කිරීමටත් ඇමෙරිකාවේ ආර්ථිකය නැංවීමටත් ට්‍රම්ප් පරිපාලනය සමත් විය. එහි ප්‍රතිඵලය වූයේ චීන ඇමෙරිකා සබඳතා දිනෙන් දින පිරිහීමය. අවසානයේ ඇමෙරිකාව චීනයටත් චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පනවද්දී, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවුල් විය. ‍ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධයක් නිර්මාණය විය.

පසුගිය දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් කොවිඩ් 19 නව කොරෝනා වයිරසය හිස එසවූයේ, ඇමෙරිකා චීන වෙළෙඳ යුද්ධය තවත් උත්සන්න කරමිණි. ඇමෙරිකාවේ කොරෝනා මරණ දිනෙන් දින ඉහළ යද්දී, වයිරසය ලොව පුරා පැතිරුණේ චීන රජය එය නිසි ලෙස පාලනය කර නොගැනීමෙන් යැයි ට්‍රම්ප් දිගින් දිගටම දොස් පවරන්න පටන් ගත්තේ, කොවිඩ් 19 නව කොරෝනා වයිරසය ‘චීන වයිරසය’ යනුවෙන් එය හඳුන්වා දෙමිණි.

ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් ද, චීනය ලොවට කරන ‘කෙණෙහිලිකම්’ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති නමුත්, චීනය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සැරසෙයි. මේ වනවිට ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජගත් සංවිධාන කීපයකින්, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්, පරිසරය සුරැකිමේ පැරිස් සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් කරගෙන තිබේ. තමන් ජනපති වුවහොත් ඒ සියලු ගිවිසුම් හා සංවිධාන සමඟ යළි ඇමෙරිකාව එක් කරන බවත්, විදෙස් ප්‍රතිපත්ති ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බවත් බයිඩන් අවධාරණය කර තිබේ. ජනාධිපති ට්‍රම්ප් ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කළේ පලස්තීනුවන් අසරණ කරමිණි. ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පිළිගත හැකි පැහැදිලි විසඳුමක් දෙන බවට ද බයිඩන් පොරොන්දු වී තිබේ. ට්‍රම්ප් තව සිවු වසරක් ජනපති ධුරයේ සිටියොත්, තමන්ට ‘දෙවියන්ගේම පිහිටයි’ යැයි පලස්තීන පාලන අධිකාරිය පවසා තිබේ.

ජනමත සමීක්ෂණ අනුව, ඇමෙරිකානුවන්ගෙන් සියයට 80 කට වැඩි පිරිසක් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇතැයි පැවැසෙයි. ජනපති ට්‍රම්ප්ගේ ජය හෝ පැරදුම හෝ තීරණය කරන ප්‍රධාන සාධකය වනු ඇත්තේ කොරෝනා ය. ජනපති ට්‍රම්ප් විද්‍යාව ගැන හෝ සමාන්‍ය දැනීම ගැන හෝ තැකීමක් කරන්නේ නැත. වයිරසයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධයෙන් හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් හෝ ඔහු තැනීමක් කරන්නේ ද නැත.

තමන් දිගටම ධුරයේ සිටියහොත්, මුහුණු ආවරණ අනිවාර්ය නොකරන බවත්, රට ලොක්ඩවුන් කිරීම් නොකරන බවත් ට්‍රම්ප් පවසා ඇත. මෙම 2020 වසර අවසන් වීමට පෙර වයිරසය ආසාදනය වීම වළක්වන එන්නතක් ජනතාවට ලබා දෙන බව ට්‍රම්ප් පවසා ඇතත්, ඇමෙරිකන් වෛද්‍යවරුන් සහ ඖෂධ සමාගම් පවසා ඇත්තේ එන්නතක් එළිදැක්වීම ලබන 2021 දී සිදුවනු ඇති බවය. කොරෝනා වසංගතය සම්බන්ධයෙන්, ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් දරන්නේ ට්‍රම්ප්ට වඩා මුළුමනින්ම වෙනස් මතයකි.

තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් පළමු දිනයේ පටන් තමන් කරන්නේ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම යැයි බයිඩන් පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසයි. මුහුණු ආවරණ අනිවාර්ය කරන බවත්, සෞඛ්‍ය නිර්දේශ අනුව, රට ලොක්ඩවුන් කරන බවත් හෙ‍ෙතම වැඩි දුරටත් පවසා ඇත. එපමණක් නොව, වයිසරය නිසි ලෙස පාලනය නොකළ බැවින් ට්‍රම්ප්ට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට ද බයිඩන් සූදානමින් සිටී.

ලුසිත ජයමාන්න
විදෙස් පුවත් ඇසුරිනි

RECOMMEND POSTS