ඇමෙරිකන් ජනපතිවරණය පැවැත්වෙන හැටි



ඇමෙරිකා ජනාධිපතිවරණය හෙට (3) පැවැත්වෙයි. මේ සටහන ඒ නිමිත්තෙනි.

ඇමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයා රටේ නායකයාය. එම තනතුර සෑම අතින්ම උත්තරීතරය. ඇමෙරිකාවේ සේනාධිනායකයා වන්නේ ද ජනාධිපතිවරයාය.

ඇමෙරිකාවේ ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයකු පත් කර ගැනීම සිදු කරන්නේ, සිවු වසරක ධුර කාලයක් සඳහා ය. එසේ පත්වන ජනාධිපතිවරයකුට සිය සිවු වසරක ධුර කාලය අවසන් වීමත් සමඟ එලැඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාවක් හිමිවෙයි. එහිදී ජයග්‍රහණය කළහොත්, තවත් සිවු වසරක ධුර කාලයක් හිමිවෙයි.

ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සැලැසී ඇත්තේ ජනාධිපතිවරයකුට එම ධුරයේ වාර දෙකක් සේවය කිරීම සඳහා පමණි. එසේ කාල සීමාවක් නිර්ණය කිරීම සිදුවූයේ මීට වසර 69 කට පෙර, 1951 දී සම්මත වූ ව්‍යවස්ථා සංශෝධනයකිනි. 1951 වසරට පෙර ඇමෙරිකන් ජනාධිපතිවරයකුගේ ධුර කාලය සිවු වසරකට සීමා වූයේ නැත. ජනාධිපතිවරයාගේ ධුරය අහිමිවීම සිදුවූයේ ජනාධිපතිවරයා ධුරයෙන් පහ කළ විට, ඉල්ලා අස්වූ විට, මියගිය විට හෝ අතුරු මැතිවරණයක් පැවැත්වීමෙන් පමණි.

ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇතිවුවහොත්, ජනපති ධුරය සඳහා නම් කෙරෙන්නේ උප ජනාධිපතිවරයාය. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සැලසී තිබේ.

ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකිවන්නේ අවුරුදු 35 ට වැඩි, ජන්මයෙන්ම ඇමෙරිකානු පුරවැසියකුට පමණි. ඇමෙරිකන් ජනාධිපතිවරණය යනු ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකි. ඇමෙරිකන් ඡන්ද දායකයා ජනාධිපතිවරණයකදී, සෘජුවම තමන් කැමැති අපේක්ෂකයා ජනපති කිරීමට ඡන්දය ලබා දෙන්නේ ද නැත.

ඡන්දදායකයකු ජනාධිපතිවරණයේ දී තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය දුන් විට ඇත්තෙන්ම ඡන්ද දායක ඔහු හෝ ඇය කරන්නේ තම තමන්ගේ ජනපදයේ ඡන්ද වරම් හිමි කර දෙන පුද්ගලයන් සංඛ්‍යාව එනම් ‘ජන්ද ගණය’ (ඉලෙක්ටෝරල් කොලේජ් යනු මෙයයි.) තෝරාදීම සඳහා ඡන්දය පාවිච්චි කිරීමය.

සෑම ජනපදයකම එය කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) නියෝජනය කරන මන්ත්‍රීන් සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන දෙදෙනකුට එක් අයකු බැගින් වන සේ සංඛ්‍යාවක් ඡන්ද වරම හිමි පුද්ගලයන් ලෙස තෝරා පත් කළ හැකිය. (ඇමෙරිකන් පාර්ලිමේන්තුව එසේත් නැතිනම් කොංග්‍රසය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විතය.)

එසේ ඡන්ද වරම හිමි අය ෆෙඩරල් රජයේ නිලතල දරන්නන් විය යුතු වන්නේ ද නැත. සමහර ජනපදවලින් මේ අය තෝරා ගැනෙන්නේ, දේශපාලන පක්ෂ සම්මේලනවලදීය. එහිදී ඡන්ද වරම හිමි සංඛ්‍යාවට අයත් වන පුද්ගලයන් නම් කිරීමේ අවස්ථාව වැඩිම ඡන්දය ලබන පක්ෂයට හිමිවෙයි. පරාජිත අපේක්ෂකයන්ට එම අවස්ථාව හිමි වන්නේ නැත. මෙසේ ජය ලබන ඡන්ද වරම හිමි සියල්ලන්ම තම ජනපදයේ අගනුවරට රැස්වී, ජනපතිවරයාට සහ උප ජනපතිවරයාට ඡන්දය ප්‍රකාශ කරනු ඇත. මේ අයට, ව්‍යවස්ථාවට අනුව, කැමැති ඕනෑම කෙනකුට ඡන්දය ප්‍රකාශ කළ හැකි නමුත්, ඔවුන් තමන් ප්‍රතිඥා දී ඇති අයට හැර වෙනත් අයකුට ඡන්දය දීමක් කරන්නේ නැත. මෙම ප්‍රකාශිත ඡන්ද කොංග්‍රසය වෙත යවනු ලැබේ.

හෙට (3) පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අපේක්ෂකයන් නිල වශයෙන් තෝරා ගැනීම සිදුවන්නේ ලබන වසරේ එනම් 2021 ජනවාරියේ ඡන්ද ගණන් කිරීමෙන් පසුවය. එහිදී මුළු ඡන්ද ප්‍රමාණයෙන් අඩකට වඩා ඡන්දය ලබා ගන්නා අපේක්ෂකයෝ පිළිවෙළින් ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා වශයෙන් පත් වෙති. එසේ නොවන අවස්ථාවලදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් එය සිදුවෙයි.

මෙවැනි අවස්ථාවක් පළමු වරට උදා වී ඇත්තේ 1800 වසරේදීය. දැනට භාවිත වන ක්‍රමයට අනුව, ජනපදයක වැඩි ඡන්ද ලබන පක්ෂයට එම ජනපදයට හිමි සියලු ඡන්ද ගණවලට (ඉලෙක්ටෝරල් කොලේජ්) අයත් ඡන්ද හිමිවේ.

ඒ නිසා ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ඡන්ද නොලැබූ අපේක්ෂකයකුට ජය ගැනීමේ අවස්ථාව තිබේ. 1876 දී සහ 1888 දී මේ අවස්ථාව උදා වූ අතර, ජනාධිපති ධුරයට පත් වූයේ ජනතාවගේ සම්මත ඡන්දයෙන් වැඩි ප්‍රමාණයක් ලබා ගත් තැනැත්තා නොව ඊට අඩු ප්‍රමාණයක් ලබමින් ඡන්ද ගණයේ (ඉලෙක්ටෝරල් කොලේජ්) ඡන්ද වැඩි ප්‍රමාණයක් ලබා ගත් තැනැත්තාය.

ලුසිත ජයමාන්න
විදෙස් පුවත් ඇසුරිනි

RECOMMEND POSTS