රට යන්න අනුමත එන්නත්



ලෝක සෞඛ්‍ය සංවිධානය, හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කළ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් අනුමත කරන බවත්, එම එන්නත් ලබා ගත් විදේශිකයන්ට නිරෝධායනය වීමකින් තොරව, තම රටවලට ඇතුළු වීමට ඉඩ දෙන බවත් ඇමෙරිකාව ඇතුළු යුරෝපා සංගමයට අයත් රටවල් පවසා තිබේ.

ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් එසේ පැවැසුවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී තිබුණත්, ඇතැම් රටවල් තම අභිමතය පරිදි එන්නත් සඳහා අනුමැතිය ලබා දීම සිදු කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ මොහොත වනවිට, හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කළ වර්ග 3 ක එන්නත් 6 ක් ඇත.

එයින් දෙකෙක් mRNA එන්නත්ය. mRNA යනු 'කොවිඩ් 19' වයිරස විෂබීජ ජානවලින් සැකැසූ කේතයක් සිරුරට ඇතුළු කරන එන්නත් වර්ගයකි. වයිරසයට එරෙහි ප්‍රතිශක්තියක් සිරුරේ නිර්මාණය වන්නේ ඒ අනුවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇති mRNA එන්නත් දෙක ඇමෙරිකාවේ 'ෆයිසර්-බයෝටෙක්' නැතිනම් 'ෆයිසර්' එන්නත සහ 'මොඩර්නා' එන්නතය.මේ වනවිට රටවල් 101 ක් 'ෆයිසර්' එන්නතට අනුමැතිය දී ඇති අතර, රටවල් 76 ක් 'මොඩර්නා' එන්නතට අනුමැතිය දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණු දෙවැනි කාණ්ඩයට අයත් වන්නේ උදාසීන කළ 'කොවිඩ් 19' වයිරස ඇතුළත් එන්නත්ය. මේවා Non Replicating Viral Vector එන්නත් යනුවෙන් හැදින්වෙයි. ලෝක සෞඛය සංවිධානය අනුමත කළ Non Replicating Viral Vector එන්නත් වන්නේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' සහ ඇමෙරිකාවේ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත්ය. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත රටවල් කීපයක නිපදවයි. මෙය ඉන්දියාවේ නිපදවන්නේ 'කොවිෂීල්ඩ්' යන වෙළෙඳ නාමය යටතේය.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නතට රටවල් 71 ක අනුමැතිය ලැබී ඇත. ඇස්ට්‍රාසෙනකා' එන්නතට අනුමැතිය දුන් රටවල් ගණන 123 කි. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නතට අනුමැතිය දුන් රටවල් ගණන 46 කි. 'අක්‍රිය කළ කොවිඩ් 19 වයිරස' ඇතුළත් ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ එන්නත් වර්ග 6 ට ඇතුළත් වෙයි.

ඒ, චීනයේ නිෂ්පාදිත 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' එන්නත්ය. 'සිනොවැක්' එන්නත 'කොරෝනාවැක්' යනුවෙන් ද හැඳින්වෙයි. රටවල් 40 ක් මෙම එන්නතට අනුමැතිය ලබා දී ඇති අතර, 'සයිනෝෆාම්' එන්නතට අනුමැතිය දී ඇති රටවල් ගණන 65 ක් බව පැවැසෙයි. ලොව රටවල් 45 ක භාවිතයට ගැණුනත් රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නතට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී නැත.

(රොයිටර්)


RECOMMEND POSTS