අරගලය ජාත්‍යන්තරයට



ශ්‍රී ලංකාවේ වත්මන් පාලනයට එරෙහිව මෙන්ම, රාජපක්ෂවරුන්ට දේශපාලනයෙන් ඉවත් වන්නැයි ද බල කරමින් ද ආරම්භ වුණු #GoHomeGota අරගලය, මේ වනවිට ජාත්‍යන්තරයට ද ගොස් හමාර ය. පසුගිය මැයි පළමු වැනිදා ජගත් මැයි දිනය දා රටවල් බොහොමයක ප්‍රධාන නගර රැසක විරෝධතා පැවැත්විණි. විදේශවල පැවැත්වෙන #GoHomeGota රැළි ජාත්‍යන්තර මාධ්‍ය අවධානය ද දිනා ගැනීමට සමත් වී අවසන්ය.

පසුගිය මැයි පළමු වැනිදා, එනම් ජාත්‍යන්තර කම්කරු දිනය දා, එක්සත් රාජධානියේ, වෙස්ට්මින්ස්ටර් හි විරෝධතා රැලියක් ආරම්භ කළේ ගෝල්ෆේස්  විරෝධතාකරුවන් තනි නොකරමු යන තේමාවට අනුවය. එම විරෝධතාවට ලාංකිකයෝ 1,500 කට වැඩි පිරිසක් සහභාගී වූහ. ලාංකිකයන්, වෙස්ට්මින්ස්ටර් හි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහිටි පාර්ලිමේන්තු චතුරස්‍රයට රැස්ව සිටියේ දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරවය.

ගාලු මුවදොර ‘ගෝඨාගෝගමට’ සහෝදරත්වය පළ කරමින් වෙස්ට්මින්ස්ටර් හි ද කුඩා  ‘ගෝඨාගෝගමක්’ ප්‍රකාශයට පත් කිරීමට ද විරෝධතාකරුවෝ කටයුතු කළහ. එංගලන්තයේ ලන්ඩන් නුවර පමණක් නොව, එක්සත් රාජධානියේ විවිධ පළාත්වල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මෙම විරෝධතා සඳහා එක් වී සිටීම සුවිශේෂී සිදුවීමක් විය. වෙස්ට්මින්ස්ටර් හි ආරම්භ වුණු විරෝධතා, මාර්තු මස 13 වැනිදා තෙක් පැවැත්වෙන බව එමහි සංවිධායකයෝ පවසති.

‘ඔලිවියාර්’ සම්මාන උලළේදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබූ හිරාන් අබේසේකර ද වෙස්ට්මින්ස්ටර් විරෝධතාවට එක් වූයේය. ‘ඔලිවියාර්’ සම්මාන හිමි කර ගැනීමෙන් පසු හිරාන් අබේසේකර, ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ, ගාලුමුවදොර අරගලයට ශක්තියක් දීමේ අරමුණින්ය. ඔහු වෙස්ට්මින්ස්ටර් විරෝධතාවට එක් වූයේ යළි ලන්ඩනයට යෑමෙන් අනතුරුවය.

පසුගිය මැයි පළමු වැනිදා, ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව ජර්මනියේ බර්ලීන් නුවරට රැස්වුණු එරට ලාංකිකයෝ විරෝධතාවයක නියැලුණාහ. ලාංකික සිසුන්, ව්‍යාපාරිකයන්, ශ්‍රමිකයන් ඇතුලු විශාල පිරිසක් දේශපාලන භේදයකින් තොරව මීට සම්බන්ධ වූ බව සංවිධායකයෝ පවසති.

ගාලු මුවදොර #GoHomeGota විරෝධතා පැවැත්වූ අවස්ථාවේ ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්විණි. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, වොෂින්ටන් මෙන්ම නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතා පැවැත්විණි. ඊට අමතරව, නිව්යෝක් නුවර ‘ස්ටැටර්න් අයිලන්ඩ්’ හිදීත් #GoHomeGota විරෝධතාවක් පැවැත්වුණු බවත් එම විරෝධතාවට ද ඇමෙරිකාවේ ශ්‍රී ලාංකිකයන් එක්වුණු බවත් පැවැසෙයි.

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඩලාස් නුවර ද විරෝධතා පැවැත්විණි. එම වි​රෝධතා ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් 10 වැනිදාය. එදින ඇමෙරිකාවේ චිකාගෝ නුවර ද #GoHomeGota විරෝධතා පැවැත්විණි. පක්ෂ පාට භේදයකින් තොරව, ආගම් භේදයකින් තොරව ඩලාස් සහ විකාගෝ නුවර සිංහල වැසියෝ එම විරෝධතා සඳහා එක් වූහ. කැනඩාවේ ටොරොන්ටෝ සහ ස්කාබරෝ යන නගරවලට රැස්වුණු ශ්‍රී ලාංකිකයන් ද විරෝධතාවල නියැලුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සමාජ මාධ්‍ය හරහා ද එම විරෝධතාවල ඡායාරූප ප්‍රසිද්ධියට පත් වී තිබේ.

මැදපෙරදිග කලාපයෙන් #GoHomeGota විරෝධයක් දකින්න ලැබුණේ ඊශ්‍රායලයෙනි. ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට රැස්වුණු එරට ලාංකිකයන් මෙම විරෝධතාව පැවැත්වූයේ පසුගිය අප්‍රේල් 8 වැනිදාය. පෝලන්තයේ වෝෂෝ නුවර සහ ග්‍රීන්ලන්තයේ ඉලුලිසැට් නුවර, විරෝධතා පැවැත්විණි. ලොව උසින් වැඩිම ස්ථානය වන එවරස්ට් ශිඛරය පාමුලට ද #GoHomeGota විරෝධතා පුවරුවක් රැගෙන ගිය ලාංකිකයන් ගැන ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි.

නවසීලන්තයේ සහ අසල්වැසි ඕස්ට්‍රේලියාවේ ලාංකික ප්‍රජාව පසුගිය දින පුරාවට විරෝධතා පැවැත්වීය. මැයි පළමු ​වැනිදා ද විරෝධතා රැලි පැවැත්විණි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, පර්ත්, කැන්බරා ඇඩිලෙයිඩ් වන නගරවලත්, නවසීලන්තයේ ඕක්ලන්ඩ් සහ වෙලිංටන් නගරවලත් මෙම විරෝධතා පැවැත්විණි. විරෝධතා සඳහා එම රටවල වෙසෙන ලාංකිකයෝ විශාල වශයෙන් සහභාගී වූහ. කැන්බරා විරෝධතා රැලිය පැවැත්වූටේ කැන්බරා ශීලංකා කොන්සියුලර් කාර්යාලය ඉදිරියේය. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පැවැති විරෝධතාවට සහභාගී වූ ලාංකිකයන් ගණන 2,000 ට වැඩි යැයි සංවිධාය​කයෝ පැවැසූහ.

ජනාධිපති සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙසත්, පාස්කු ප්‍රහාරයේ චූදිතයන් හෙළි කොට දඬුවම් ලබා දෙන ලෙසත් බල කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ, එරට පැරිස් අගනුවරට රැස්වී අවස්ථා දෙකකදී විරෝධතා දැක්වූහ. පසුගිය අප්‍රේල් 3 වැනිදා පැරීසියේ ඓතිහාසික මහජන චතුරස්‍රයේදීත් ඉන්පසු අප්‍රේල් 21 වැනිදා සවස  පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණු දැවැන්ත විරෝධතාවට, ජාති, ආගම්, දේශපාලන භේදයකින් තොරව බොහෝ දෙනෙක් එක් රොක් වී සිටියහ.

අසහනයට පත් සහෝදර ශ්‍රී ලාංකික ජනතාවගේ විරෝධතාවයට ශක්තියක් ලබා දෙමින් ඔවුන්ගේ ඉල්ලීම් ජය ගැනීමට සහාය පල කරන මෙම විරෝධතාවයට පක්ෂ, ආගම්, ජාති බේද නොතකා දුෂ්ඨ පාලකයන්ගෙන් රට මුදා ගැනීමට පෙළ ගැසෙමු යන තේමාව යටතේ පැරිස් අගනුවර විරෝධතා පැවැත්විණි. ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට ඉල්ලා අස්වන්නැයි බලකරමින් ජපානයේ ශ්‍රී ලාංකිකයන් විසින් තෝකියෝ නුවර ශිබුයා නගරයේ දී විරෝධතාවක් සංවිධානය කරනු ලැබු තිබුණි. සයිප්‍රසයේ නිකෝසියා සහ ලිමසෝල් යන නගරවල ද #GoHomeGota විරෝධතා පැවැත්විණි.

විදෙස් තොරතුරු ඇසුරිනි


RECOMMEND POSTS