ලක්ෂ 5 ක් මඟ හැරලා



ලක්ෂ 5ත් 6ත් අතර පිරිසක් එන්නත්  එකම මාත්‍රාවක් හෝ  ලබා නොගෙන  මග හැර සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන්  අප කොවිඩ්  සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතාගෙන් කළ විමසුමකදී  ඔහු පැවසුවේ   මෙම වගකීම් විරහිත පිරිස නිසා සමාජය තුළ බරපතළ සෞඛ්‍යමය අවදානමක් මතුවී ඇති බවයි.

එන්නත් ලබා නොගත් පිරිස්වලට කොවිඩ්  වයිරසය  ප්‍රබල ලෙස පැතිර විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

කොවිඩ්  එන්නත මෙසේ මඟ හැර සිටින පිරිසෙන් බහුතරයක් තරුණ අය වෙති. ඇතැම් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන මිත්‍යා මත හේතුවෙන් ඉන් බහුතරයක් එන්නත  මඟ හැර සිටින බවට තොරතුරු දැනගන්නට ඇතැයි  අන්වර් හම්දානි මහතා  ප්‍රකාශ කළේය.

එන්නත් මාත්‍රා එකක් හෝ ලබා නොගත් 20,000 කට වැඩි පිරිසක් කොළඹ නගරයේ සිටින බව කොළඹ නගර සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙරට ජනගහනයෙන් සියයට හැත්තෑ  හතරක්  එන්නත්  පළමු මාත්‍රාව ලබා ගෙන ඇති අතර  එන්නත් දෙවෙනි මාත්‍රාව ලබා ගෙන ඇති සංඛ්‍යාව සියයට 64කි.

බූස්ටර්  එන්නත ලබාගෙන ඇති සංඛ්‍යාව මෙරට ජනගහනයෙන් සියයට 20කි.

කොවිඩ් තෙවෙනි රැල්ල ආරම්භ වූ අවස්ථාවේ දී දෛනික  ආසාදිතයන් සංඛ්‍යාව  උපරිම වශයෙන් 5200ක් දක්වාද  මරණ සංඛ්‍යාව 228ක් දක්වාද ඉහළ ගිය බව පැවසූ කොවිඩ්  සම්බන්ධීකාරකවරයා  මේ වනවිට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 600ක් දක්වාද මරණ සංඛ්‍යාව 16ත් 20ත් අතර සංඛ්‍යාවක් දක්වාද පහත බැස ඇතැයි  සඳහන් කළේය.

එන්නත්කරණයේ සාර්ථකභාවය නිසා මෙම ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවූ බවත්  තෙවැනි එන්නත් මාත්‍රාවද  කඩිනමින් ලබා ගන්නා ලෙස  ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත්  වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.


RECOMMEND POSTS