කොරෝනාට එරෙහි එන්නතේ කතාව



කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයා වන ‘කොවිඩ් 19’ වයිරසය තවමත් මුළු ලොවටම හිසරදයකි. මේවනවිට, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වීම වළක්වමින්, සිරුරේ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඇති කරවන එන්නත් පහක් කරළියට පැමිණ තිබේ. එයින් එන්නත් දෙකකට ඇමෙරිකාව සම්බන්ධය. අනෙක් එන්නත් නිපදව ඇත්තේ මහා බ්‍රිතාන්‍යය, රුසියාව සහ චීනයයි.

එකිනෙකට වෙනස් වුවත්, මෙම එන්නත් සියල්ල ක්‍රියාත්මක වන ආකාරය සමානය. ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තියක් ඇති කිරීමට ‘කොවිඩ් 19’ වයිරසයේ ජානමය කොටස් සිරුරට ඇතුළු කෙරේ. මෙම එන්නත් පහ ‘සාර්ථකයි’ බව පැවැසෙන්නේ, තෙවැනි අදියරේ අවසන් සායනික පර්යේෂණ සාර්ථක වූ නිසාය. එන්නත් ලබා ගත් බොහෝ දෙනකුට වයිරසයට නිරාවරණය කළත්, ඔවුන්ට වයිරසය ආසානය වී නැති බව පැවැසෙයි. එන්නත් ලබා දීම සිදු කර ඇත්තේ අවුරුදු 18 වැඩි 60 ට අඩු වයස් කාණ්ඩයේ තෝරා ගත් පුද්ගලයන්ට පමණි. කුඩා දරුවන් යොදා ගනිමින් මෙම එන්නත් කිසිවක් අත්හදා බලා නොමැති අතර, කුඩා දරුවන්ට මෙම එන්නත් සුදුසු යැයි පැවැසෙන්නේ ද නැත.

ඇමෙරිකාවේ ඖෂධ පරිපාලනය, ඖෂධ සඳහා අනුමැතිය ලබා දීම සහ ඖෂධ බෙදා හැරීම සිදු කරන්නේ  ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය හරහාය. ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිවේදනය කර ඇත්තේ ලබන දෙසැම්බර් 11 වැනිදා සිට, ඇමෙරිකානුවන්ට ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම සහ ‘මොඩර්නා’ ජෛව පර්යේෂණ සමාගම නිපදවූ එන්නත් ලබා දෙන බවය. ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ යනු ඇමෙරිකන් සමාගම් වන අතර, ‘ෆයිසර්’ සමාගම ඔවුන්ගේ එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක් සමාගම සමඟ හවුලේය. ඒ සඳහා මුදල් ලබා දී ඇත්තේ ට්‍රම්ප් පරිපාලනයයි. ඒ, එන්නත පළමුවෙන් ඇමෙරිකානුවන්ට ලබා දිය යුතුයි යන කොන්දේසිය යටතේය.  ‘මොඩර්නා’ සමාගම ඔවුන්ගේ එන්නත නිපදවා ඇත්තේ තනිවමය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි නොවුණත්, අතුරු ආබාධ නොමැති, සාර්ථක එන්නත් ලෙස පිළිගෙන ඇති බැවින් ඇමෙරිකන් වෛද්‍යවරුන්ගේත්, ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේත් අනුමැතිය මෙම එන්නත් දෙකට හිමිවිය. ‘ෆයිසර්’ එන්නත ඇමෙරිකන් ඩොලර් 19 කටත්, ‘මොඩර්නා’ එන්නත ඇමෙරිකන් ඩොලර් 25 ත් 37 ත් අතර මිලකටත් අලෙවි කිරීමට එම සමාගම් තීරණය කර තිබේ. ‘ෆයිසර්’ එන්නත මෙන්ම ‘මොඩර්නා’ එන්නත ද මාත්‍රා දෙකකි. සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වන්නේ දෙවැනි එන්නත විදීමෙන් පසුවය. ‘ෆයිසර්’ එන්නත මෙන් නොව, ‘මොඩර්නා’ එන්නත නිවසේ ශීතකරණයක වුවත් පහසුවෙන් ගබඩා කළ හැකි බව පැවැසෙයි.

‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත්වලටත් වඩා ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි උනන්දුවක් දක්වන්නේ  ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති එන්නත කෙරෙහිය‍. ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත් සේම, ඔක්ස්ෆර්ඩ් එන්තත ද යොදා ගනිමින් රටවල් කීපයක අත්හදා බැලීම් සිදුවිය. අවාසනාවන්ත ලෙස, ඔක්ස්ෆර්ඩ් එන්තත ස්වේච්ඡාවෙන් ලබා ගත් බ්‍රසීල වෛද්‍යවරයෙක් මරණයට පත් විය. අඩුපාඩු සහ පසුබෑම් මැද කෙසේ හෝ ඔක්ස්ෆර්ඩ් එන්තත මේ වනවිට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ති‌බේ. ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් ඔවුන්ගේ මෙම එන්තත නිපදවන්නේ, ‘ඇස්ට්‍රා සෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම හවුලේය. ‘ඇස්ට්‍රා සෙනකා’ ලොව රටවල් බොහොමයක විශ්වාසය දිනූ ඖෂධ නිෂ්පාදන සමාගමකි. ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති එන්තතේ සාර්ථකත්වය සියයට 90 තෙක් වැඩි කර ගැනීමට හැකි බව ‘ඇස්ට්‍රා සෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසා තිබේ. ඔක්ස්ෆර්ඩ් එන්නත සම්බන්ධයෙන් තවමත් මිලක් නියම කර නොමැති අතර, ඇමෙරිකන් එන්නත්වලට වඩා එහි මිල අඩුවනු ඇති බව පැවැසෙයි. එපමණක් නොව, ඔක්ස්ෆර්ඩ් එන්නත පහසුවෙන් ගබඩා කිරීම ද හැකි බව පැවැසෙයි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත සාර්ථක කරගැනීමේ කටයුත්ති පිටුපස ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලාංකිකයකු ද සිටී. ඇය නමින් ආචාර්ය මහේෂි රාමසාමි ය. ආචාර්ය මහේෂි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සායනික පර්යේෂිකාවක වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල රෝහල්හි ජාතික සෞඛ්‍ය සේවා පදනම් භාරයේ බෝවෙන රෝග සහ ප්‍රතිශක්තීකරණය පිළිබඳ වෛද්‍යාචාර්යවරයකි.  ආචාර්ය මහේෂි රාමස්වාමි කොළඹ විශාකා විද්‍යාලයෙන් සහ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලෙන් සිය ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය ලබා ඇත.  ලෝ ප්‍රකට විද්‍යා සඟරාවක් වන ‘ලාන්සට්’ සඟරාවේ ‘කොවිඩ්-19’ වයිරසය, එන්නත්, ආරක්ෂාව හා ප්‍රතිශක්තීරණය සම්බන්ධයෙන් පසුගිය සතියේදී පළවූ අධ්‍යයනයේ ප්‍රමුඛ පර්යේෂකයා හා කතුවරයා වන්නේ ද ආචාර්ය මහේෂි රාමසාමි ය. ආචාර්ය මහේෂි රාමසාමිගේ මාපියන් ද ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෝ වෙති. මහාචාර්ය රන්ජන් රාමසාමි සහ මහාචාර්ය මන්ත්‍රී සමරනායක රාමසාමි, ආචාර්ය මහේෂි රාමස්වාමිගේ මාපියෝ වෙති. කෙම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ චර්චිල් විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් පළමු කාන්තාව වන්නේ ද ආචාර්ය මහේෂ් රාමසාමිගේ මව වන මහාචාර්ය මන්ත්‍රී සමරනායක රාමසාමි ය.  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය 2019 දී සංවිධානය කළ ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවේ ගෞරවාන්විත කථිකයා වූයේ ද ආචාර්ය මහේෂි රාමසාමිය. ආචාර්ය මහේෂි රාමසාමි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ක්‍රියිස්ට් විද්‍යාලයෙන් සිය වෛද්‍ය උපාධිය ලබාගත් අතර ලන්ඩන් හා ඔක්ස්ෆර්ඩ් හිදී බෝවෙන රෝග සම්බන්ධයෙන් අධ්‍යාපනය හා පුහුණුව ලබා ඇත.

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය ඇති කිරීමට පළමුවෙන් සාර්ථක එන්නතක් නිපදවූයේ තමා බව රුසියාව කියයි. ලොව පළමුවෙන් ලියාපදිංචි කළ කොරෝනා වළක්වන එන්නත වන්නේ ද මෙයයි. මෙය ‘ස්පුට්නික් 5’ යනුවෙන් නම් කර ඇත්තේ ලොව පළමු චන්ද්‍රිකාව ලෙස සෝවියට් සමූහාණ්ඩුය පෘථිවි කක්ෂයට යැවූ ‘ස්පුට්නික් 1’ චන්ද්‍රිකාව සිහි ගන්වමිනි. ‘ස්පුට්නික් 5’ ලෙස නම් කළත් එන්නත නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘ගැම්-කොවිඩ්-වැක්’ යන නමිනි. එන්නත නිපදවා ඇත්තේ රුසියාවේ ‘ගැම්ලේයා’ වසංගත පාලන, ක්ෂුද්‍ර ජීව විද්‍යා ආයතනයයි. එන්නත නිපදවීම සිදුවූයේ රුසියන් සෞඛ්‍ය අමත්‍යාංශයේ මැදිහත් වීමෙනි. එන්නත එළිදැක්වීම සිදුවූයේ අගෝස්තු 11 වැනිදාය.රුසියන් වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු අගෝස්තු 28 වැනිදා එය ලියාපදිංචි කෙරුණි. ඒ අනුව, ලොව පළමුවෙන් ලියාපදිංචි කළ කොරෝනා එන්නත මෙයයි.

සාමාන්‍යයෙන් එන්නත් සම්බන්ධයෙන් සායනික පර්යේෂණ වසර දෙකක් පුරා සිදුවන නමුත්, ‘කොවිඩ් 19’ වයිරසය වෙනුවෙන් නිර්මාණය එන්නත් නිපදවීම ප්‍රමාද කළ නොහැකිය. සායනික පර්යේෂණ සිදුවෙද්දී පවා එන්නත ජනාවට ලබාදීමට රුසියානු රජය සහ සෞඛ්‍ය අමත්‍යාංශය පියවර ගත්තේ ඒ නිසාය. සායනික පර්යේෂණ යටතේ එන්නත 40,000 කට ලබා දුන් බව රුසියාව කියයි. ‘ස්පුට්නික් 5’ එන්නත සම්බන්ධයෙන් සිදු කළ පළමු, දෙවැනි සායනික පර්යේෂණ වාර්තා ප්‍රතිඵල සහ තෙවැනි වටයේ පළමු අදියරේ සායනික පර්යේෂණ වාර්තා ප්‍රතිඵල රුසියානු සෞඛ්‍ය අමත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දී ඇත. ඒ, ඊට අනුමැතිය ගැනීම සහ විකිණීමේ අරමුණින්ය. කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ‘ස්පුට්නික් 5’ එන්නත කෙරෙහි උනන්දුවක් දක්වන බව නොපෙනෙයි.ඊට හේතුව, එම එන්නත විශ්වාසය තැබිය නොහැකි අනාරක්ෂිත එකක් නිසා ද නැතිනස් බටහිර ඖෂධ සමාගම් නිපදවන එන්නත් විකුණමින් එම සමාගම්වලට ලාබ ඉපැයීමට වැඩි අවස්ථාවක් උදා කර දීමට අවශ්‍ය වී ඇති නිසා ද යන්න ප්‍රශ්නාර්ථයකි. කොවිඩ් 19’ වයිරසය ආසාදනය වීම වැළැක්වීමට, බටහිර රටවල් නිපදවා ඇති එන්නත්වලට වඩා තමන් නිපදවා ඇති ‘ස්පුට්නික් 5’ එන්නත මිල අඩු යැයි රුසියාව පෙන්වා දී තිබේ රුසියාව වැඩි දුරටත් පවසා ඇත්තේ ඔවුන්ගේ විද්‍යාඥයන් නිර්මාණය කළ ‘ස්පුට්නික් 5’ එන්නත ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත්වලට වඩා අඩු මුදලකට ලබා දිය හැකි බවය.

චීන රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඔවුන්ගේ කොරෝනා වළක්වන එන්නත සාර්ථක බව ලොවට නිවේදනය කළේ සැප්තැම්බරයේය. චීන රජයේ, සෞඛ්‍ය අමත්‍යාංශයේ අධීක්ෂණය යටතේ එන්නත නිපදවීම කළේ සිනොවැක් බයෝටෙක් සමාගමය. තෙවැනි අදියරේ සායනික පර්යේෂණ සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරද්දී, චීන හමුදා සොල්දාදුවන්ට, ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබා දීම සිදුවිය. එපමණක් නොව, බ්‍රසීලය, ඉන්දුනීසියාව, තුර්කිය ආදී රටවල එන්නත අත්හදා බැලීම් කෙරුණි. ඒ, එම රටවල වෛද්‍ය පර්යේෂණ ආයතන සහ ඖෂධ සමාගම් සමඟ එක් වෙමිනි. චීනය සමඟ එක් වී කටයුතු කරන ඉන්දුනීසියාවේ ‘බයෝ ෆර්මා’ සමාගම, ‘සිනොවැක්’ එන්නත් මාත්‍රා මිලියන 40 ක් මිලදී ගැනීම වෙනුවෙන් මේ වනවිටත් ගනුදෙනු කතාබහ කර අවසන්ය.

ආරම්භයේ පටන් චීන රජය ලොවට කියා සිටියේ, තමන් ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව එන්නතක් නිපදවන්නේ නම්, එසේ කරන්නේ ලාභ ලැබීමේ අරමුණ ඇතිව නොවන බවය. කෙසේ නමුත් ‘සිනොවැක්’ එන්නතට මිලක් නියම කර ඇත. මෙම එන්නත ද මාත්‍රා දෙකකින් සමන්විතය. එක් එන්නතක් මිල කර ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 60 කටය. ‘ස්පුට්නික් 5’ එන්නත සේම, ‘සිනොවැක්’ එන්නත සම්බන්ධයෙන් ද පර්යේෂණ වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කර ඇති නමුත්, සෞඛ්‍ය සංවිධානයේ නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි.

ලුසිත ජයමාන්න
ඒ.එෆ්.පී. ඇසුරිනි

RECOMMEND POSTS