සඳට යන බොරු කාන්තාවෝ



ඇමෙරිකාවේ නාසා ආයතනය යළිත් වරක් සඳ ගවේෂණ මෙහෙයුම් මාලාවකට සුදනම් වෙයි. මෙම ගවේෂණ මෙහෙයුම් සුවිශේෂී වනු ඇත්තේ, පිරිමින් පමණක් නොව, කාන්තාවන් ද ඊට සහභාගී කර ගැනීමය. ඒත්,  පිරිමින්ට වඩා කාන්තාවන් ට අභ්‍යවකාශය අනතුරුදායක තැනකි.

අභ්‍යවකාශයේ අහිතකර විකිරණ, පිරිමි සිරුරට වඩා කාන්තා සිරුරුට වැඩි බලපෑමක් එල්ල කරයි. ඒ අනුව, කාන්තාවන් සඳට යැවීමට පෙර, අභ්‍යවකාශයේ විකිරණවලින් කාන්තා සිරුරට එල්ල වන බලපෑම කොතරම්දැයි අවබෝධ කරගත යුතුය. ඒ අනුව, පළමුවෙන් අත්හදා බැලීමේ මෙහෙයුමක් එසේත් නැතිනම් පුහුණු මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිතය. මේ කතාව ඒ ගැනය. මෙම පෙර පුහුණු මෙහෙයුමට තිදෙනෙක් සම්බන්ධ වෙති. ඔවුන් තිදෙනා ‘හෙල්ගා’, ‘සොහාර්’ සහ ‘කැප්පොස්’ය. මේ ඔවුන්ගේ කතාවයි.

පළමුවෙන් මිනිසකු සඳමත පය තැබුවේ, නාසා ආයතනයේ ‘ඇපලෝ’ චන්ද්‍ර මෙහෙයුම් යටතේය. පළමුවෙන් සඳට පය තැබූ නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ‘බස්’ ඕල්ඩ්‍රීන් සඳට ගියේ ඇපලෝ 11 මෙහෙයුම යටතේය. ඒ, 1969 ජූලි 20 වැනිදාය. අවසන් වරට සිදුවුණු ‘ඇපලෝ’ චන්ද්‍ර මෙහෙයුම  ‘ඇපලෝ 17’ ය. ඒ, 1972 වසරේදීය. ඉන්පසු කිසිවකු සඳට ගියේ නැත. දැන් යළිත් වරක් පිරිමියකු පමණක් නොව, කාන්තාවක ද සඳට යැවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සූදානමින් වෙයි. මෙම නව මෙහෙයුම් මාලාව නාසා ආයතනය නම් කර ඇත්තේ ‘ආටිමිස්’ යනුවෙනි. ග්‍රීක මිත්‍යා කතා අනුව, ‘ආටිමිස්’ සහ ‘ඇපලෝ’ නිවුන්නුය. මොවුන්ගේ පියා මහ දෙවි සූස් ය. ‘ඇපලෝ’ යනු හිරුට සහ සංගීතයට අදිපති දෙවියාය. ‘ඇපලෝ’ හිරු නම්, ‘ආටිමිස්’ කවුරුන්දැයි යන්න අමුතුවෙන් කිවයුතු නැත. ‘ආටිමිස්’ යනු සඳුට අධිපති දෙවඟනය. පිරිමින් සහ කාන්තාවන් සඳට යැවෙන ‘ආටිමිස්’ මෙහෙයුම ආරම්භ වනු ඇත්තේ 2025 වසරෙන් පසුව යැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

පිරිමින් සහ කාන්තාවන් සඳට රැගෙන යන ‘ආටිමිස්’ මෙහෙයුම් ආරම්භ වීමට පෙර,  ‘ආටිමිස්’ මෙහෙයුම් මාලාවේ පළමු වැන්න, එසේත් නැතිනම්, ‘ආටිමිස් 1’ මෙහෙයුම තව නොබෝ දිනකින්; අගෝස්තු මාසයේ පමණ ආරම්භ වනු ඇත. මෙම මෙහෙයුමට සම්බන්ධ වන තිදෙනා ‘හෙල්ගා’, ‘සොහාර්’ සහ ‘කැප්පොස්’ යනු සැබෑ ගගනගාමීන් නොව, කෘත්‍රිමව නිපදවූ සන්වේදක සිය ගණනක් සවි කළ, ‘ඩමි’ ය. තවත් පැහැදිලි කළොත් කෘත්‍රිම මිනිස් සිරුරු තුනකි. එලැඹෙන අගෝස්තුවේ මේ තිදෙනා සඳ වෙත ගොස් සඳ වටා කැරැකී ආපසු පෘථිවිය බලා පැමිණීමට නියමිතය. ඒ, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්’ නමැති නාසා රොකට්ටුවෙන් සහ ‘ඔරියන්’ ගගන කැප්සියුලයෙනි. ඉදිරියේ දී සැබෑ ගගනගාමීන් සඳට යනු ඇත්තේ ද ‘ස්පේස් ලොන්ච් සිස්ටම්’ රොකට්ටුව සහ ‘ඔරියන්’ කැප්සියුලය භාවිතයට ගනිමිනි.

කලින් කී පරිදි, ‘හෙල්ගා’, ‘සොහාර්’ පමණක් නොව, ‘කැප්පොස්’ ද කෘත්‍රිමව නිපදවන ලද මිනිස් සිරුරු තුනකි. මිනිස් සිරුර කීවාට, ‘හෙල්ගා’, ‘සොහාර්’ සිරුරුවලට අත් පා හෝ හිසක් හෝ නැත. මේවා විශේෂ ප්ලාස්ටික් වර්ගයකින් නිපදවා ඇත්තේ, මනුෂ්‍ය සිරුරට සමාන ආකාරයකටය. ‘හෙල්ගා’, ‘සොහාර්’ කාන්තා සිරුරුය. හෘදය, පෙනහළු, විවධ ඝනත්වයෙන් යුත් අස්ථි සහ සමේ මෘදු පටක ආදිය ද මෙම කෘත්‍රිම සිරුරේ ඇත. සන්වේදක සිය ගණනක් ඒවාට සම්බන්ධ කර ඇත. මේවා පුහුණු මෙහෙයුමට යොදා ගැනෙන්නේ, අභ්‍යවකාශ සවාරියකදී, අභ්‍යවකාශයේ විකිරණ කාන්තාවකට කෙසේ බලපෑමක් කරාවි ද යන්න අවබෝධ කර ගැනීමටය. මෙම කෘත්‍රිම සිරුරු රෝහල්වලදී විකිරණ ප්‍රතිකාර සඳහා අත්හදා බැලීමට ගන්නා සිරුරුවලට සමානය. පුහුණු ගමනේදී නියමු කුටියේ ප්‍රධාන අසුන් දෙකේ, ‘හෙල්ගා’ සහ ‘සොහාර්’ ආසන පටි පැලඳවා අසුන් ගැන්වීම සිදු කරනු ඇතැයි නාසා කියයි. ඒ සැබෑ ගගනගාමීන් එහි අසුන් ගෙන සිටින අයුරිනි. ‘හෙල්ගා’ ෂටලය තුළ ගමන් කරන්නේ ආරක්ෂිත ඇඳුමක් නොමැතිව විකිරණවලට නිරාවරණය වෙමිනි. ‘සොහාර්’ ට විශේෂ ආරක්ෂිත ඇඳුමක් පලඳවනු ඇත. මෙම ඇඳුම පොලිඑතලීන් වර්ගයකින් නිපදවා ඇති අතර, එය ‘සොහාර්’ අහිතකර ප්‍රෝටෝන විකිරණවලින් ආරක්ෂා කරනු ඇතැයි විශ්වාස කෙරේ. සඳට යන කාන්තාවන්ට ඉදිරියේ දී පලඳීමට සිදුවනු ඇත්තේ මෙම ඇඳුමය. සඳට ගොස් ඇපසු පැමිණීමෙන් පසු හෙල්ගා’ සහ ‘සොහාර්’ සවි කර ඇති සන්වේදකවලින් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කරනු ඇත. ඒ අනුව, විකිරණ බලපෑමේ තරම අවබෝධ කර ගැනීමට නාසා ආයතනය සමත් වේවි.

‘කැප්පොස්’ යනු පිරිමි රුවකි. කාන්තා කෘත්‍රිම සිරුරු මෙන් නොවෙයි; ‘කැප්පොස්’ නිර්මාණය කර ඇත්තේ හිසක් සහ අතපය ද සහිතවය. අභ්‍යවකාශයේ අත්හදා බැලීම්වලට ‘කැප්පොස්’ අමුත්තකු නොවන බව නාසා කියයි. මෙම පිරිමි කෘත්‍රිම රුව ‘කැප්පොස්’ යනුවෙන් නම් කර ඇත්තේ නාසා ඉන්ජිනේරු ආටුරෝ කැම්පොස් සිහි ගන්වමිනි. ‘කැම්පොස්’ ට සන්වේදක රැසක් සවි කර තිබේ. ‘කැම්පොස්’ මීට පෙර භාවිතයට ගැණුනේ ‘ඔරියොන්’ කැප්සියුලය ගගන මෙහෙයුම් සඳහා අත්හදා බලද්දී, මිනිස් සිරුරකට එය කොතරම් බලපෑමක් කරනවාදැයි සෙවීමටය. මෙවැනි කෘත්‍රිම මිනිස් සිරුරු අභ්‍යවකාශ කටයුතුවලදී අත්හදා බැලීම් ලෙස යොදා ගැනීම නිරන්තරයෙන් සිදුවෙයි. 2004 වසරේ සිට 2011 දක්වා කාලයේ අභ්‍යවකාශ නැවැතුම්පොළේ විකිරණ පරීක්ෂණ සඳහා යොදා ගත් ‘මට්‍රොෂ්කා’ ද කෘත්‍රිම සිරුරකි.

සඳට නොගියත්, අභ්‍යවකාශයට ගිය, කාන්තා ගගනගාමීන් ගණන 75 කි. ඒත්, සඳට යෑම එසේ මෙසේ දෙයක් නොවෙයි. පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවැතුම්පොළේ මෙන් නොව, සඳ බලා යද්දී විවිධාකාරයේ විකිරණවලට හසුවෙයි. සඳුට පෘථිවියේ මෙන් ඝන වායුගෝලයක් හෝ චුම්බක ක්ෂේත්‍රයක් හෝ නැත. එහෙයින්, සඳ මතුපිටට ගිය විට, විකිරණවලින් බේරීමට හැකියාවක් නොලැබෙයි. පෘථිවියේ පහළ වායු ගෝලයේ රඳවා ඇති බැවින්, ආරක්ෂාවක් ලැබේ. ඒ අනුව, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට යෑමේදී ද විකිරණවලට නිරාවරණය වීමක් සිදුවන්නේ නැත. අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටිද්දී නිරාවරණය වන විකිරණ ප්‍රමාණයට වඩා 2.6 ක් වැඩියෙන්, සඳ මතුපිටදී විකිරණවලට ලක් වෙනවා යැයි 2020 වසරේ කළ අධ්‍යයනයකදී හෙළිවී තිබේ. පිරිමින් මෙන් නොව, කාන්තාවන් විකිරණවලට අනාවරණය වීම භයානකය.

(NASA)


RECOMMEND POSTS