රයිසිගේ සමු ගැනීම



හෙලිකොප්ටර් අනතුරකින් ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මියගියේය. ඉරාන විදේශ ඇමැති හොසේන් අමීර්අබ්දුල්රහීන්, ආගමික නායකයකු සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් හෙලිකොප්ටරයේ සිටි අතර ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්වුණු බව තහවුරු වූයේ, අද (20) උදෑසන, කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වුණු රතු අඩකව සංවිධානයේ දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හමුවීමත් සමඟය.

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස අතුරුදන් යැයි පුවත් පළවූයේ ඊයේ (19) ය. ජනාධිපති රයිසි ප්‍රමුඛ පිරිස ගමන් කළ හෙලිකොප්ටර් යානය හදිසි අනාරක්ෂිත ගොඩබෑමකට (ඉංග්‍රීසියෙන් හාඩ් ලෑන්ඩිං) ලක් කෙරුණු බවටත්, ජනාධිපතිවරයා ඇතුළු පිරිස අතුරුදන් බවටත්, පළමුවෙන් විස්තර පළ වූයේ සමාජ මාධ්‍ය ඔස්සේය. එම සිද්ධිය තහවුරු කරමින්, ඉන්පසු ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ විදෙස් මාධ්‍ය ද ඉරාන ජනාධිපතිවරයා සහ පිරිස අතුරුදන් වීම ප්‍රධාන උණුසුම් පුවතක් ලෙස ඉදිරිපත් කරන්නට විය. ඒ අනුව, ජනාධිපතිවරයා සහ පිරිස ට සිදුවූයේ කුමක්දැයි යන්න ලොව කාගේත් අවදානයට ලක්විය. හෙලිකොප්ටරය කඩා වැටුණේ ඉරාන අසර්බයිජාන දේශසීමාවේ කඳුකරයටය.

දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් 73 ක් හෙලිකොප්ටරය කඩා වැටුණු බවට සැක කෙරෙන කදුකර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නිරත වෙද්දී, තුර්කියෙන් ලැබුණු ඩ්‍රෝන යානයකට කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවුණු බව ඉරාන රතු අඩකව සංවිධානය පැවැසීය. මේ අවස්ථාව වෙද්දී, ඉරාන රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණේ අතුරුදන් වුණු ජනාධිපතිවරයා සහ පිරිස වෙනුවෙන් යාඥා කරන ලෙසටය. රුසියාව, චීනය සහ ගල්ෆ් සහයෝගීතා සංවිධානය ද ඉරාන ජනාධිපතිවරයා විපතට පත්වීම සම්බන්ධයෙන් කනස්සල්ල ප්‍රකාශ කළ අතර, රුසියාව ද දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ විය.

පසුගිය දා අප අලුත් අවුරුද්ද සමරද්දී, ඉරානය ඊශ්‍රායලය සමඟ පැටලිණි. වසර ගණනක් තිස්සේ විටින්විට ඊශ්‍රායලයට පහර දෙනවා යැයි අනතුරු අඟවමින් සිටි ඉරානය, පළමු වරට ඊශ්‍රායලට මිසයිල සහ පුපුරන ද්‍රව්‍ය ඇටවූ නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය. ඉරානයේ සහාය ලබන ඉරාන හිතවාදී ඉරාකයේ, සිරියාවේ සහ යේමනයේ සටන්කාමීහු ද මෙම ප්‍රහාරයට එක් වූහ. ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර සහ ඊශ්‍රායලය විසින් සිරියාවේ ඩමැස්කස් නුවර ඉරාන කොන්සල් කාර්යාලයට පහර දී විනාශ කිරීමේ සිදුවීම් මුල්කොට ගනිමිනි. ඊශ්‍රායලය, සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට පහර දුන්නේ පසුගිය අප්‍රේල් පළමු වැනිදා ය. එම මිසයිල ප්‍රහාරයෙන් කොන්සල් කාර්යාලයේ සිටි ඉරාන විප්ලව හමුදා ප්‍රධානීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම ප්‍රහාරය මුල්කොට ගනිමින්, ඊශ්‍රායලයෙන් පළිගන්නවා යැයි ඉරාන ජනාධිපති ප්‍රතිඥා දී තිබුණි. අප්‍රේල් 13 සහ 14 දෙදින අප අවුරුදු සමරද්දී, ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේ ඒ අනුවය.

ඉරානය එල්ල කළ එම මිසයිල සහ ඩ්‍රොන ප්‍රහාරයෙන් ඊශ්‍රායලයට හානියක් නොවිණි. ඒ, ඊශ්‍රායලය සතු ප්‍රබල මිසයිල ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වූ බැවිනි. කෙසේ නමුත්, එම ප්‍රහාරයට පිළි ගැනීමක් ලෙස ඊශ්‍රායලය ද ඉරානයේ කඳවුරු කීපයකට මිසයිල එල්ල කළේය. ඒ සුදුසු වෙලාව බලා පහර දෙනවා යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කළ ප්‍රතිඥාවකට අනුවය. එම ප්‍රහාරය එල්ල කෙරුණේ පසුගිය අප්‍රේල් 19 වැනිදාය. තෙවැනි ලෝක යුද්ධයක පෙර නිමිති පෙනෙන්නට විය. ඉරානයේ සහාය ඇතිව ඉදි කෙරුණු උමා ඔය ජල ව්‍යාපෘතිය විවෘත කිරීමට, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මෙරටට පැමිණෙන බව නිවේදනය කෙරුණේ අප්‍රේල් 16 වැනිදාය. ‘ඉරාන ජනාධිපති ඉලක්ක කරගෙන ඊශ්‍රායලය හෝ ඇමෙරිකාව හෝ ප්‍රහාරයක් එල්ල කළොත් අපිත් ඉවරයි’ යැයි ශ්‍රී ලාංකිකයන් කීවේ විහිළුවටම නොවේ.ඇමෙරිකාවටත්, ඊශ්‍රායලයටත් එය බොහොම පහසු දෙයක් බැවිනි. ඒ ගැන චකිතයක් පවතිද්දී, ජාත්‍යන්තර ප්‍රජාව, ඇමෙරිකාව පවා, මැදිහත් වී, ඉරානයත් ඊශ්‍රායලයත් අතර හටගත් යුද උණුසුම නිවා දැමීය. ඉරාන ජනාධිපති රයිසි, අසල්වැසි පාකිස්තානයට ගොස් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුවී, පාකිස්තාන රජය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව බලා පැමිණියේය.

ජනාධිපති රයිසිගේ පාකිස්තාන සංචාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්‍රකාශයක් කළේය. ‘ඉරානයට අප සම්බාධක පනවලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ඒ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් බැවින්. අප කියන්න ඕනෑ පාකිස්තානය හෝ වෙන කවුරුන් හෝ රටක් ඉරානය සමඟ ගනුදෙනු පවත්වනවා නම්, පාකිස්තානයටත් සම්බාධකවලට මුහුණ දෙන්න සිදුවේවි. ඒ ගැන සිහියේ තබාගෙන ඒ රටවල් ඉරානය සමඟ ගනුදෙනු කළ යුතුයි’ යැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පැහැදිලි කළේය. පසුගිය දා ඇමෙරිකාව, ඔවුන්ගේ ආසියානු කලාපයේ සගයා වන ඉන්දියාවට ද අනතුරු ඇඟවීමක් කළේය.‍ ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය. චබහාර් යනු ඉරානය, ඉන්දියාවේ සහාය ඇතිව ඉදි කරන ලද වරායකි.

ඉරානය පාකිස්තානයට පමණක් නොව, තවත් මධ්‍යම ආසියානු රටවල් කීපයකට මායිම් වෙයි. ඒ අතරේ අසර්බයිජානය ද සිටී. නැගෙනහිර සහ බටහිර අසර්බයිජානයේ පළාත් ඉරාන පාලනයට යටත්ය. ඒවා ආණ්ඩුකාරවරුන් විසින් පාලනය කරනු ලබයි. ඉරානය සහ අසර්බයිජාන රජය අතරේ ද මිතුදම් මෙන්ම අර්බුද ද පවතී. 2023 වසරේ ඉරානයේ අසර්බයිජාන තානාපති කාර්යාලයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. අසර්බයිජානය ඉරානය සමඟ පමණක් නොව, ඊශ්‍රායලය සමඟ ද යහපත් සබඳතා පවත්වයි. ඉරානයේ තෙහෙරාන් අගනුවර, අසර්බයිජාන තානාපති කාර්යාලයට වෙඩි ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායලය මුල්කොට ගනිමිනි. ඉරානයේ සියලු තීන්දු තීරණ ගන්නේ, එරට උත්තරීතර ආගමික නායක අයතුල්ලා අලී කමේනීය. ඉරානයේ ජනාධිපති යනු ආගමික නායකයා යටතේ සිටින රටේ රාජ්‍ය නායකයාය. ඉරාන පාර්ලිමේන්තුවේ සිටින්නේ දැඩිමතධාරීන් සහ ප්‍රතිසංස්කරණවාදීන්ය. පසුගිය මාර්තු පළමු වැනිදා ඉරානයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද ඉරාන ජනාධිපති රයිසි ඔහුගේ දැඩිමතධාරීන්ට ජය හිමිවිය. ඉරාන ව්‍යවස්ථාවට අනුව, ධුරයේ කටයුතු කරද්දී ජනාධිපතිවරයා මියගියහොත්, නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට ජනාධිපතිවරණයක් පැවැත්වීම කළ යුතුය. එතෙක් උප ජනාධිපතිවරයා ජනාධිපති ලෙස කටයුතු කරනු ඇත. ඒ අනුව, රයිසිගේ අභාවයෙන් පසු උප ජනාධිපති මොහොමඩ් මොක්බාර් ට ජනාධිපති ධුරය හිමිවෙයි.

පෙරේදා (19) උදෑසන, 63 හැවිරිදි ඉරාන ජනාධිපති රයිසි, 60 හැවිරිදි ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්දුල්ලාහියන්, ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනිගේ නියෝජිත අසර්බයිජානය වෙනුවෙන් පත් කළ ආගමික නායක සෙයිද් මොහොමඩ්-අලි අල්-හෂේම් සහ ඉරාන රජයේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු 9 දෙනෙක් අසර්බයිජානය බලා ගියහ. ඒ, අරාස් ගංගාව හරස් කරමින් තැනුණු කිස් කලාසි සහ කොඩාෆාරින් නමැති වේලි දෙක විවෘත කිරීමටය. ඉරාන ජනාධිපති රයිසිට අසර්බයිජාන ජනාධිපති ඉම්හාන් අලියේව් ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. රයිසි, අසර්බයිජාන ජනාධිපති හමුවීම, වේලි විවෘත කිරීම, දැක්වෙන වීඩියෝ දසුන් සහ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කෙරුණේ ජනාධිපති රයිසිගේ අවසන් වීඩියෝ දසුන් සහ අවසන් ඡායාරූප ලෙසය.

අසර්බයිජානයේ කටයුතු නිමා කරමින්, ඉරාන ජනාධිපති රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්දුල්ලාහියන්, ආගමික නායක සෙයිද් මොහොමඩ්-අලි අල්-හෂේම් එම නව දෙනා ඔවුන්ගේ හෙලිකොප්ටරයට ගොඩ වී ආපසු ඉරානය බලා පැමිණෙන්න විය. ජනාධිපති රැගත් හෙලිකොප්ටරය පියාසර කරන්න වූයේ තවත් හෙලිකොප්ටර් දෙකක් පිරිවරාගෙනය. 1979 වසරේ ඉරාන විප්ලවයෙන් පසු, ඉරානයට ඔවුන් සතු හෙලිකොප්ටර් යානා නිසි ලෙස නඩත්තු කිරිම ගැටලුවක් බව පැවැසෙයි. ඒ, ඇමෙරිකාවෙන් ඉරානයට එල්ල වන ආර්ථික සහ අනෙක් සම්බාධක හේතුවෙනි. ඝන මීදුම මැදිම් පියාසර කරද්දී, හෙලිකොප්ටරය අනතුරට ලක්වීමට මෙය ද හේතුවක් වූවා විය හැකිය. එහෙත්, යම් හෙයකින්, කිසියම් හෝ විදියකට, ඉරාන ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ගමන් කළ හෙලිකොප්ටරයට ප්‍රහාරයක් එල්ල වූයේ නම් හෝ යානය කඩාකප්පල්කාරී ක්‍රියාවකට ලක්වූයේ නම් හෝ එය බරපතල ලෝක අර්බුදයකට මුල පිරීමක් වනු නිසැකය.

ප්‍රෙස් ටීවී සහ බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS