ලොව හුදෙකලාම හස්තියාට නව නිවහනක්



ශ්‍රී ලංකාවෙන් පකිස්තානයට පරිත්‍යාග කර එරට ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයෙහි පීඩාකාරී අන්දමින් ජීවත් වූ කාවන් නැමති හස්තියා කාම්බෝජයේ පිහිටි අභයභූමියක් වෙත රැගෙන ගොස් තිබේ.

ඒ රුසියානු ගුවන් යානයක් මගින් වන අතර කාවන් පැය 7ක ගුවන් ගමනක නිරත ඇත.

කිලෝග්‍රෑම් 2000 ක පමණ බරින් යුත් 36 හැවිරිසි කාවන් ගුවන් මගින් රැගෙනයාමට විශේෂිත කුටියක් පවා නිර්මාණය කර ඇති අතර  දිගු ගුවන් ගමන අතරතුරදී කාවන්ට ආහාරයට ගැනීම සඳහා කෙසෙල්, කොමඩු ආදී ආහාර ද්‍රව්‍ය පවා එහි තැන්පත් කර තිබී ඇත.

කාවන් උතුරු දිග කාම්බෝජයේ පිහිටි අභය භූමියට රැගෙනයාම සඳහා ඇමෙරිකානු පොප් ගායිකාවක් සහ හොලිවුඞ් සිනමා නිළියක වන ෂර් අනුග්‍රහය දක්වා තිබේ.

කාවන් ගුවන්ගත කිරීමට පෙර ඒ වෙනුවෙන් නිර්මාණය කළ විශේෂිත කුටියෙහි රැඳී සිටීමට පුහුණුවක් පවා ලබා දී ඇත.
  හුදෙකලාව වසර අටක පමණ කාලයක් ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයේ තනිව ජීවත් වූ කාවන් දැඩි මානසික පීඩනය හේතුවෙන් ඇතිවූ කාංසා තත්ත්වයකින් මෙන්ම පාදයේ ආබාධයකින් හා මන්දපෝෂණ තත්ත්වයකින් ද පීඩා විඳි අතර එම සත්වයා වෙනත් සත්වෝද්‍යානයකට ගෙන යන ලෙස එරට මහාධිකරණය නියෝගයක් ද ලබා දී තිබිණි.

කාම්බෝජයට ගෙනයාමට පෙර කාවන්ට ප්‍රතිකාර ලබාදීමට වෛද්‍ය කණ්ඩායමක් යොදවා සිටි අතර දැඩි ප්‍රචණ්ඩ හස්තියකු වූ කාවන් හීලෑකර සමීපවීමට අමීර් කලීල් නැමති එම වෛද්‍යවරයාට හැකිවී තිබිණි.

අලි ඇතුන්ගේ බරපතල මානසික රෝගී ලක්ෂණයක් වන හිස ගසාගැනීමේ රෝගී තත්ත්වයෙන් පවා පීඩාවිඳි කාවන් එම තත්ත්වයෙන් මුදවා ගැනීමට සංගීත චිකිත්සා ප්‍රතිකාර ක්‍රම පවා යොදාගැනීමට වෛද්‍ය අමීර් කටයුතු කර තිබිණි.

ශ්‍රී ලංකාවෙන් පකිස්තාන රජයට 1985 වසරේදී ලබාදී ඇති කාවන්ගේ, සහාකාරිය ලෙස 1990 වර්ෂයේදී පාකිස්තානයට යැවූ ”සහේලි” නම් ඇතින්න 2012 දී මියයාමෙන් පසු කාවන් ඉස්ලාමාබාද් සත්ව උද්‍යානය තුල තනිවම ජීවත් වූයේ නිසි පහසුකම් හෝ නොමැතිවය.

මෙම හස්තියාට යහපත් ස්ථානයක් ලබා දීමේ අරමුණින් ඇමෙරිකානු ගායන ශිල්පිනී ෂර් ඇතුළු ස්වේච්ජා සංවිධාන එකමුතුවක් දැවැන්ත විරෝධාතාවයක් ආරම්භ කර පාකිස්තාන් අධිකරණයට පෙත්සමක් ගොනුකර් තිබූ අතර එය විභාග කළ පාකිස්තාන මහාධිකරණය කාවන් සුදුසු ස්ථානයකට යොමු කිරීමට එරට වනජීවී නිලධාරීන්ට නියෝග කර තිබිණි.

දිගු කාලයක් පීඩාකාරී දිවියක් ගත කළ කාවන් නුදුරේදීම නව අලි පවුලක සාමාජිකයකු වනු ඇති අතර නැවත කිසි දිනෙක දම්වැලෙන් නොබැඳෙනු ඇත.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS