චීන ගගනගාමීන් තිදෙනෙක් උඩු ගුවනට



'කොවිඩ් 19' වසංගතයෙන් ලෝකය හෙම්බත්ව සිටිද්දී සහ ලෝක බලවතුන් වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකා හමුවී, එදිරිවාදිකම් මඟ හරවා ගැනීම සාකච්ඡා පවත්වද්දී, චීනය ගගන මෙහෙයුමකට සූදානම් විය. ඒ ගගනගාමීන් තිදෙනකු උඩු ගුවනට යැවීමටය. එම මෙහෙයුම අද (17) ක්‍රියාත්මක විය. ඒ, චීනයේ වේලාවෙන් 9.22 ටය. ගගනගාමීන් තිදෙනා උඩු ගුවනට රැගෙන ගියේ ‘ෂෙංසූ 12’ නමැති ගගන කැප්සියුලයයි. චීන ගගනගාමීන් මෙසේ අභ්‍යවකාශ මෙහෙයුමකට එක් වූයේ වසර 10කට පමණ පසුවය.

‘ෂෙංසූ 12’ ගගන කැප්සියුලය‍ 'ලොංග් මාච්2එෆ්.වයි12' රොකට්ටුවට සම්බන්ධ කර තිබුණි. පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදී පෘථිවි කක්ෂයට ‘ෂෙංසූ 12’ යානය තල්ලු කිරීම කළේ 'ලොංග් මාච්2එෆ්.වයි12' රොකට්ටුවය. ‘ෂෙංසූ 12’ කැප්සියුලය මෙන්ම 'ලොංග් මාච්2එෆ්.වයි12' රොකට්ටුව ද චීනයේ ඉන්ජිනේරු විස්කම්ය‍. චීනය ඔවුන්ගේ ගගන කටයුතුවලට භාවිතා කරන 'ලොංග් මාච්' රොකට් කිහිපයකි. බීජීං වේලාවෙන් අද (17) සවස 3.54 ට 'ලොංග් මාච්2එෆ්.වයි12' රොකට්ටුවෙන් මිදී වෙන් වුණු ‘ෂෙංසූ 12’ කැප්සියුලය, පෘථිවි කක්ෂයේ පහළින් රඳවා තිබුණු 'ටියැංහි' නමැති කොටස එසේත් නැතිනම් මොඩියුලය සමඟ එක් විය. තමන් ඇමෙරිකාවට නොදෙවැනි බව පෙන්වමින් චීනය කළ මෙම හපන්කම සැබැවින්ම සුවිශේෂී එකකි.

කොතරම් තාක්ෂණය දියුණු වුවත්, අභ්‍යවකාශ ගමන් අවදානම්ය. දශමයකින් හෝ වැරදීමක් සිදුවුවහොත් ගගනගාමීන්ගේ ජීවිත අනතුරේ වැටෙයි. ජීවිතය පරදුවට තබා ‘ෂෙංසූ 12’ කැප්සියුලයට නැගී, පෘථිවි කක්ෂයට ගිය ගගනගාමීන් තිදෙනා නී හෙයිසිං, ලීයු බෝමිං සහ තාංග් හොංග්බෝ ය. 56 හැවිරිදි නී හෙයිසිං, චීන ගුවන් හමුදා නියමුවකු ලෙස සේවය කළ අයෙකි. චීනය, අභ්‍යවකාශයට යැවූ වයස්ගතම ගගනගාමියා වන්නේ ද මොහුය. ගගනගාමීන් තිදෙනා රැගත් කැප්සියුලය සහ රොකට්ටුව ගුවන්ගත කෙරුණේ වයඹදිග චීනයේ ගංෂූ පළාතේ ජිකුවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් යනු පෘථිවි අපට අලුත් දෙයක් නොවෙයි. පළමුවෙන් පෘථිවි කක්ෂයේ නැවැතුම්පොළක් ඉදිකළේ සෝවියට් දේශයයි. එය 'මීර්' නම් විය. 1986 වසරේ සිට 2001 තෙක් 'මීර්' අභ්‍යවකාශ නැවැතුම්පොළ ක්‍රියාකාරීව පැවැතිණි. මේ අතරතුරේ, ඇමෙරිකාවේ නාසා ආයතනය, රුසියන් අභ්‍යවකාශ ආයතනය (රොස්කොස්මොස්), යුරෝපා අභ්‍යවකාශ ආයතනය, ජපාන අභ්‍යවකාශ ආයතනය අත්වැල් බඳ ගනිමින් මොඩියුල රැසක් එක් කර දැවැන්ත අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කළේය. 1998 වසරේ දී මෙහි කටයුකු ආරම්භ විය. 'ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ' යන නමින් හැඳින්වෙන්නේ මෙයයි. මාස 6 කට වරක් ගගනගාමීහු මාරුවෙන් මාරුවට මෙම නැවතුම්පොළේ රැදී සිටිති. විවිධාකාරයේ පර්යේෂණවල නියැළෙති.

මත ගැටුම් හේතුවෙන්, චීනය බටහිර ලෝකයේ උදහසට ලක්වී ඇත. එහෙයින්, ජාත්‍යන්තර අභ්‍යවකාශයේ කටයුතුවලට චීනය සම්බන්ධ කර ගැනීමට බටහිර රටවල වැඩි කැමැත්තක් නැත. චීනය තමන්ගේම කියා අභ්‍යවකාශ නැවතුම්පොළක් ඉදි කිරීම ආරම්භ කර ඇත්තේ ඒ නිසාය. මෙය ආසියානු රටක් ඉදි කරන පළමු අභ්‍යවකාශ නැවැතුම්පොළ වීම විශේෂත්වයකි. 

මෙය ආසියානු රටක් ඉදි කරන පළමු අභ්‍යවකාශ නැවැතුම්පොළ වීම විශේෂත්වයකි.

එපමණක් නොව, චීනය ඉදිරියේ දී ඇමෙරිකාවට අභියෝගයක් වෙමින් සඳ මතුපිට ද නවාතැන් පොළක් ඉදි කිරීමට සැරසෙයි. අඟහරු ග්‍රහයාට ගගනගාමීන් යැවීමට ද සූදානම් වෙයි. මේ වනවිටත් චීනය අඟහරු ග්‍රහයා මතට යැවූ රොබෝ රෝවර් යානය අඟහරු මතුපිට දත්ත රැස්කිරීම සිදු කරයි. චීනය අඟහරු වෙත රෝවර් යානයක් යැවූ පළමු අවස්ථාව මෙයයි.

චීනය ඔවුන්ගේ මෙම අභ්‍යවකාශ නැවැතුම්පොළ නම් කර ඇත්තේ 'ටියැංගොන්' යන නමිනි. එහි අර්ථය 'ස්වර්ගයේ මාලිගාව' යන්නය. චීනය, 'ටැයිංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කරන්නේ එහි ප්‍රධාන කොටස් තුන එසේත් නැතිනම් මොඩියුල අවස්ථා කීපයකදී පෘථිවි කක්ෂයට යැවීමෙනි. නැවැතුම්පොළේ ප්‍රධාන කොටස වන 'ටියැංහි' මොඩියුල පෘථිවි කක්ෂයට යැවීම සිදු වූයේ පසුගිය අප්‍රේල් 29 වැනිදාය. 'ටියැංහි' මොඩියුලය සමඟ ඉදිරියේ දී එක් කෙරන අනෙක් මොඩියුල දෙක වන්නේ 'වෙන්ටියැං' සහ 'මෙංග්ටියැං' ය. ඊට අමතරව 'සුන්ටියැං' නමැති අභ්‍යවකාශ දුරේක්ෂය ද නැවැතුම්පොළට සවි කිරීමට සූදානම්ය.

පසුගිය මැයි මාසයේ, පාලනයෙන් ගිලිහී ගිය චීන රොකට් කැබැල්ලක් පොළොවට පතිත වීමේ තර්ජනයක් තිබුණු බව ඔබට මතකද? රොකට් කැබැල්ල කොතැනකට පතිත වේවිදැයි කල්තියා කීමට හැකියාවක් ලැබුණේ නැත. කෙසේ නමුත් අවසානයේ කාටවත් අනතුරක් නොවී රොකට් කැබැල්ල මූදට වැටුණි. පාලනයෙන් ගිලිහී එසේ පහළට වැටුණේ පසුගිය අප්‍රේල් 29 වැනිදා 'ටියැංහි' මොඩියුල පෘථිවි කක්ෂයට ගොස් මුදා හැරිය 'ලොංග් මාච්' රොකට් කැබැල්ලකි.

'ටියැංහි' මොඩියුලය මීටර් 16.6 ක් දිග සිලින්ඩරාකාර කොටසකි. පළල මීටර් 4 කි. ගගනගාමීන් මාස 3 ක කාලයේ මොඩියුලයේ රුඳී සිටිමින් ඉදිකිරීම් කටයුතුවල නියැලෙනු ඇත. නැවැතුම්පොළේ කටයුතු ලබන 2022 වසර අවසන් වෙද්දී සම්පූර්ණ කිරීමට චීනය අපේක්ෂා කරයි. ඉන්පසු මාස හයෙන් හයට මාරුවෙන් මාරුවට චීන ගගනගාමීන් නැවැතුම්පොළට යනු එනු ඇත. ඉදිකිරීම් සම්පූර්ණ කෙරෙන 'ටැයිංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළේ ආයු කාලය අවුරුදු 15 කි. 'ටැයිංගොන්' නැවැතුම්පොළ රැඳී පවතිනු ඇත්තේ පෙළෝ මට්ටමේ සිට කිලෝ මීටර් 340 ත් 400 ත් අතර උසකිනි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඇත්තේ කිලෝ මීටර් 408 ක් උසකිනි. 'ටැයිංගොන්' නැවැතුම්පොළ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ තරම් දැවැන්ත එකක් නොවෙයි. 'ටැයිංගොන්' ප්‍රමාණයෙන් 'මීර්' නැවැතුම්පොළ තරම්ය. ‘ෂෙංසූ 12’ ගගන කැප්සියුලයෙන් 'ටියැංහි' මොඩියුලය හා සම්බන්ධ වුණු ගගනගාමීන් තිදෙනා ආපසු පෘථිවය බලා පැමිණෙන්නේ ද එම කැප්සියුලයෙනි. නැවැතුම්පොළ ඉදිකිරීම සඳහා ඉදිරියේ දී සිදුවන මෛහයුම්වලින් මෙහෙයුම් 4 කට ගගනගාමීන් සම්බන්ධ කර ගන්නා බව ද චීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

'ෂිංහුවා' ඇසුරිනි


RECOMMEND POSTS