රේවතගේ සමු ගැනීම



තවත් සද්දන්තයකු අහිමිවීමේ ආරංචිය ලැබුණේ හද සසල කරවමිනි. ඒ කලා බදුලු වැව රක්ෂිතය හැඩ කළ "රේවතගේ" නික්මයාමය. කැකිරාව, මහ කැකිරාව, අලියා වැටුණු වැව ප්‍රදේශයේ බඩ ඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක් මේ සද්දන්තයාට දිවි අහිමි කර තිබිණි.

'කලා - බලලු වැව රක්ෂිතයේ ආඩම්බරකාරයා' යනුවෙන් හැඳින් වූ “රේවත" දැවැන්ත දළ ඇතෙකි. සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් හස්තියෙකි. ඔහු මෙලෙස අකාලයේ මියයෑම බොහෝ දෙනාගේ නෙතට කඳුළක් එක් කළ කරුණක් විය.

 “රේවත“ අවුරුදු 50 - 55ක් පමණ වියේ පසු වු බවත් කලා වැව සහ බලලු වැව ඇත් පන්තියේ වැඩිමහල්ම ඇතා වන බවත් වනජීවි නිලධාරීන් පවසයි.

එමෙන්ම රේවත හස්තියාගෙන් කිසිදු පුද්ගලයෙකුට පහරදීමක් හෝ වගාවන්ට හානි සිදුකිරීමක් හෝ වාර්තා වී නොමැති බව ද වනජීවී නිලධාරීහු සඳහන් කරති. මිනිසාට අබමල් රේණුවක හානියක් නොකර තමන්ගේ පාඩුවේ ජීවත් වූ මෙම හස්තියා මිනිසාගේම වරදින් අද අපට අහිමිව ගොසිනි.

කලාවැව රක්ෂිතයේ සිටියදී විටින් විට වෙඩි උණ්ඩයන්ට පවා ගොදුරු වූ රේවත එම වෙඩි උණ්ඩ හමුවේත් තම හුස්ම අත්හළේ නැත. එතරම් දරාගැනීමේ ශක්තියක් තිබූ රේවතට දැනුණු අධිසැර විදුලි සැර නම් දරාගන්නට නොහැකි වන්නට ඇත. ආහාරයට යමක් සොයා යමින් සිටියදී ශරීරයට දැනුණු විදුලි සැර හමුවේ රේවත බිම වැටී ඇස් පියාගන්නට ඇත.

වනජීවී නිලධාරීන් විසින් විදුලි රැහැන් ඇද තිබූ වගා බිමේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇත. නමුත් රේවත යළිත් අපට ලැබෙන්නේ නැත. ඒ අභිමානවත් රුව යළිත් කලාවැව රක්ෂිතයේ ගස් අතරින් මතු නොවනු ඇත. රේවතගේ තේජස බලන්නට එන සංචාරකයින්ට හිස් අතින්ම ආපසු යන්නට සිදුවනු ඇත.

ඒ අඩුව තවත් කාලාන්තරයක් පුරාවට කලා - බලලු වැව රක්ෂිතයට දැනෙනු ඇත. දැන් කළ යුත්තේ රේවතට අත් වූ ඉරණම වෙනත් හස්තියකුට අත්නොවන්නට වගබලා ගැනීමය.

රේවත නුඹට සුබ ගමන් !

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS