අගමැති ඉම්රාන්ට හරසර



කටුනායන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී, පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස මහත් හරසරින් පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරයුමකට අනුවය.

පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ඉම්රාන් ඛාන් මහතා එරට 22 වැනි අග්‍රාමාත්‍යවරයා ය.

අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඒ මහතා ශ්‍රී ලංකා සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය වීමත්, 2021 වසරේ එතුමන්ගේ පළමු නිල විදෙස් සංචාරය මෙය වීමත් විශේෂත්වයකි.

පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා සමඟ එරට විදේශ හා වාණිජ අමාත්‍යවරුන් ඇතුළු 40 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණියහ. ඔවුන් අතර වෙළඳ දූත කණ්ඩායමක් ද වෙයි.

කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණි  අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙනුවෙන් හමුදා වෙඩිමුර 19ක් සහ හමුදා සම්මාන ආචාර පෙළපාලියක් ද පැවැත්විණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීහු ද එම අවස්ථාවට එක් වී සිටියහ.

අනතුරුව පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ගුවන්තොටුපළෙහි වූ විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන් කළ සමරු සටහන් පොතෙහි (Golden Book) සටහනක් තැබීමට ද අමතක නොකළේය.

මෙම පිළිගැනීමේ උත්සව අවස්ථාව සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, මන්ත්‍රීවරු හා අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මෙන්ම ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරී පිරිසක් ද එක්ව සිටියහ.

පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (23) සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාගේ සහභාගීත්වයෙන් දෙරට අතර ආර්ථික හා වෙළඳ, ආයෝජන, කාර්මික තාක්ෂණ, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ගිවිසුම් 5ක් අත්සන් තැබීමට නියමිතය.

පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට (24) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවත් කොළඹ දී පැවැත්වෙන වෙළඳ හා අයෝජන සමුළුවට එක්වනු ඇති බවත් වාර්තා වේ.

සංචාරය අවසන් කර ආපසු යෑමට පෙර, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ද හමුවීමට සූදානමින් සිටී.

ඡායාරූප -
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ
ෆේස්බුක් පිටුවෙනි


RECOMMEND POSTS