ප්‍රතිනිර්මාණය වූ පිළිම වහන්සේ



තලේබාන් ඉස්ලාමීය අන්තවාදීන් ඇෆ්ගනිස්තානයේ බාමියන් නිම්නයේ පිහිටි බාමියන් බුදු පිළිම වහන්සේලා පුපුරුවා විනාශ කළේ මීට වසර 20 කට පෙරය.

එසේ විනාශ කළ එක් බුදු පිළිම දෙනෙක් එකක් පසුගිය දා ප්‍රතිනිර්මාණය විය. ඒ, බුදු පිළිමය පිහිටා තිබූ ගල් කුහරය තුළ එය ඒකාලෝක කිරීමෙනි. බුදු පිළිම වහන්සේ මෙසේ යළි ප්‍රති නිර්මාණය කෙරුණේ ත්‍රිමාන පරිගණක තාක්ෂණය, ලේසර් කිරණ සහ ප්‍රක්ෂේපණ යන්ත්‍ර (ප්‍රොජෙක්ටර්) භාවිත කරමිනි. මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වූයේ චීන ජාතික යුවළකි. සැංග් යූ සහ ලියැං හූ නමැති ඔවුන් දෙදෙනා කෝටිපති ව්‍යාපාරිකයන්ය.

විනාශ කෙරුණු බුදු පිළිම වහන්සේ ත්‍රිමාන තාක්ෂණයෙන්, ප්‍රති නිර්මාණය වූයේ, සැබෑ පිළිම වහන්සේගේ උසට සමාන අයුරිනි. මෙම කටයුත්තේ දී චීන රජයේ සහාය යුවළට නොඅඩුව ලැබුණි. සැංග් යූ සහ ලියැං හූ ට ඇෆ්ගන් රජයෙන් පමණක් නොව යුනෙස්කෝ සංවිධානයෙන් ද අවසර ගැනීමට සිදුවිය. බාමියන් බුදු පිළිම පිහිටි ඒම ස්ථානය අද, යුනෙස්කෝවට අයත් විනාශ වූ ලෝක උරුමයක් ලෙස නම් කළ ස්ථානයකි. බුදු පිළිම වහන්සේ ඒකාලෝක වූයේ එක් දිනක් සඳහාය. එය නැරැඹීමට පැමිණි ඇෆ්ගන් වැසියන්ට බාමියන් නිම්නයේ ජීවත් වන්නේ හසාරා නමැති ඇෆ්ගන් වාර්ගික ජනතාවය. මොවුන් තලේබාන් පාලනය ප්‍රතික්ෂේප කරන පිරිසකි. බුදු පිළිමය ප්‍රතිනිර්මාණය වූ දා රාත්‍රියේ එය නැරඹීමට පැමිණි හසාරා වැසියන්, නටමින් ගී ගයමින් පසුදා උදේ වන තුරු එහි රැදී සිටි බව පැවැසෙයි.

බාමියන් නිම්නය පිහිටා ඇත්තේ මධ්‍යම ඇෆ්ගනිස්තානයේය. බාමියන් නිම්නයේ හුණුගල් පර්වත අතරේ නෙළා තිබුණු මෙම බුදු පිළිම වහන්සේලා, කාලක් ලෝකයේ විශාලතම බුදු පිළිම වහන්සේලා ලෙස පිළි ගැණින. පිළිම නෙළන්න ඇත්තේ බාමියන් නිම්නයේ සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා යැයි විශ්වාස කෙරේ. බාමියන් නිම්නය පිහිටා ඇත්තේ ඉන්දීය උප මහද්වීපය සහ මධ්‍යම ආසියාව මැදය. නැගෙනහිර සහ බටහිර යා කළ සේද මාවත වැටී තිබුණේ මේ හරහාය.

බුදු පිළිම වහන්සේ ඒකාලෝක කළ චීන යුවළ

6 වැනි සියවසේ සිට 7 වැනි සියවස තෙක් ඉදි කළ බාමියන් බුද්ධ ප්‍රතිමා, වසර දහස් ගණනක් තිස්සේ, බෞද්ධයන් පමණක් නොව බෞද්ධ නොවන, ඇෆ්ගන් මුස්ලිම්වරුන්ගේත් මවිතයටත්, ගෞරවාදරයටත් පාත්‍ර විය. පිළිම විනාශ කිරීමට, තලේබාන් අන්තවාදීන් කටයුතු කිරීම, ආගම් භේදයකින් තොරව ලොව කාගේත් දැඩි විරෝධයට හේතුවක් විය. පුපුරුවා විනාශ කර දැමීමට පෙර බාමියන් බුදු පිළිම දෙකෙන් බටහිර දෙසින් පිහිටි විශාලතම පිළිමය අඩි 175 ක් උසින් යුක්ත විය.

ත්‍රිමාන තාක්ෂණයේ ආධාරයෙන් යළි ආලෝකමත් කෙරුණේ මෙයයි. නැගනහිර දෙසින් අනෙක් පිළිම වහන්සේ ප්‍රමාණයෙන් කුඩා විය. එහි උස වූයේ අඩි 120 ක් විය. මෙම කුඩා පිළිමයේ කොටස් තවමත් ඇති අතර, ඒවා යොදා ගනිමින් පිළිමය යළි ප්‍රතිසංස්කරණය කිරීමට ඇෆ්ගන් රජය තීරණය කළේ 2017 දීය. ඒ සඳහා යුනෙස්කෝ සංවිධානය, ඉතාලි සහ ජර්මන් රජය එක් වී සිටී.

වසර 1,700 ක් තිස්සේ නොනැසී පැවැති, බුදු පිළිම වහන්සේලා, විනාශ කරන්නැයි අණ දුන්නේ ඇෆ්ගනිස්තානයේ තලේබාන් නායක මුල්ලා මොහොමද් ඕමාර් ය. ඒ, 2001 මාර්තු මාසයේය. එහෙත්, පිළිම විනාශ කිරීම සිතූ තරම් පහසු කටයුත්තක් නොවුණු අතර ඊට සති ගණනක් ගත විය.

පළමුවෙන් ගුවන් යානා නාශක අවි යොදා ගනිමින් පිළිමවලට පහරදීම් කළත් එය අසාර්ථක විය. අවසානයේ යුද ටැංකි විනාශ කළ හැකි බිම් බෝම්බ බුදු පිළිම යට සවි කළ අතර, බුදු පිළිම හාරා ඩයිනමයිට් ඇතුළු කර පුපුරුවා හැරීම සිදු විය.

බුදු පිළිම විනාශ කිරීම, තලේබාන් සංවිධානය ඔවුන්ගේ ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීමක් මිස අන් කිසිවක් නොවීය. ඇෆ්ගන් තලේබාන්වරුන්ට නායකත්වය දෙමින්, බාමියන් බුදු පිළිම විනාශ කරන්නැයි අණ දුන්, එක් ඇසක් ද අහිමි,  මුල්ලා මොහොමද් ඕමාර් ඝාතනය කෙරුණේ 2013 අප්‍රේල් 23 වැනිදාය.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS