ලෝක සවාරිය අතරතුරේ ලංකාවට



ලෝකයේ ඇතැමුන්, 'කොවිඩ් 19' වසංගතය හමුවේ, ඊට බියෙන් නිවෙස්වලින් එළියට යෑමට බිය පළ කරද්දී, මයික්‍රෝ ලයිට් තනි එන්ජිමක් සහිත සැහැල්ලු ගුවන් යානයක නැඟී ලොව වටා සංචාරයක කරන යුවතියක් සිටී. ඇය 19 හැවිරිදි ‌බෙල්ජියන් බ්‍රිතාන්‍ය ජාතික ගුවන් නියමුවරියක වන සාරා රදර්ෆර්ඩ් Zara Rutherford ය. තනිවම ලොව වටා යන ගමනේ දී සාරා අද (28) ශ්‍රී ලංකාවට ද පැමිණියාය.

සාරා රදර්ෆර්ඩ් උත්සාහ ගන්නේ තනිවම, සැහැල්ලු ගුවන් යානයකින්, ලෝකය වටා පියාසර කරමින්, පවතින ගිනස් ලෝක වාර්තා තුනක් බිඳ හෙලීම සහ නව වාර්තා තුනක් පිහිටුවීමය. ලෝකය වටා තනිවම පියසැරි වික්‍රමයක යෙදෙන ළාබාලතම කාන්තාව, මයික්‍රෝ ලයිට් සැහැල්ලු ගුවන් යානයක නැගී ‌ලෝකය වටා යන කාන්තාව සහ තනි ඇන්ජිමක ගුවන් යානයක නැගී ලෝකය වටා යන පළමු බෙල්ජියම් ජාතිකයා වීම එම වාර්තා තුනය.

අත්ලාන්තික සාගරය හරහා ග්‍රීන්ලන්තය, කැනඩාව, දකුණු අමෙරිකාව හරහා ඇලෙස්කාව දක්වාත්, රුසියාව හා ඉන්දුනීසියාව දක්වාත් පියාසර කරමින් සාරා ඇගේ ත්‍රාසජනක සවාරිය යළි යුරෝපය වෙත යොමු කරනු ඇත. සාරා ඇගේ වික්‍රමය ආරම්භ කළේ පසුගිය 2021 අගෝස්තු 18 වැනිදා බෙල්ජියමෙනි. ඇය 2022 ජනවාරි 13 වැනිදා යළි බෙල්ජියම බලා යෑමට නියමිතය. මුලින් සැලසුම් කර තිබුණේ 2021 නත්තල වෙද්දී බෙල්ජියම බලා ආපසු යෑමට වුවත්, ඇසේකාව සහ රුසියාව හරහා පියාසර කිරීම ප්‍රමාද වූ බව පැවැසෙයි.

සාරා මෙම වික්‍රමය කරන්නේ තනිවම වුවත් ඇගේ සහායට වෙනම කණ්ඩායමක් සිටින අතර ඔවුන් ද ඇය පසුපස ගමන් කරයි. අද (28) දහවල් සාරාගේ සැහැල්ලු ගුවන් යානය ගොඩබෑවේ රත්මලාන ගුවන් තොටුපොළටය. ඇය අද (28) මෙරට රැදී සිටිනු ඇති අතර හෙට (29) ඉන්දියාව බලා ගමන් ආරම්භ කරනු ඇත.

රත්මලාන ගුවන්තොටුපොළට පැමිණෙද්දී, සාරා සහ ඇගේ කුඩා ගුවන් යානයට ජල ආචාරය දක්වමින් පිළිගැනවීමට කටයුතු කළේ කොළඹ ගුවන් තොටුපලේ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය. සාරාගේ පියසැරි මාර්ගයේ 40 වැනි රට අප ලංකාවය.

ලෝක සවාරිය අතරතුරේ සේරා රටවල් 52 කට යෑමට නියමිත අතර, ඇයට තවත් ඉතිරි වී ඇත්තේ රටවල් 12 ක් පමණි. ලෝක සංචාරය අතරතුරේ ඇය දෙවරක් සමකය හරහා යෑමටත් බලාපොරොත්තු වෙයි. රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවාවනිතා සභාපතිනිය මේනකා සොනාලි නානායක්කාර මහත්මිය යන දෙදෙනා ඇයට සමරු තිළිණ පිළිගැන්වීමට ද අමතක නොකළහ.

ලෝකය වටා යෑමේ වික්‍රමයට සාරා රදර්ෆර්ඩ් ට අනුග්‍රහය ලබා දෙන සමාගම් සහ ආයතන බොහොමයකි. ඇය පියාසර කරන්නේ 'ෂාර්ක් ඒරෝ' Shark Aero සමාගම ඇයට ලබා දුන් 'ෂාර්ක් ඒරෝ' සැහැල්ලු ගුවන් යානයකි. 'ෂාර්ක් ඒරෝ' Shark Aero සමාගම ස්ලොවේකියානු ගුවන් යානා නිෂ්පාදන සමාගමකි. ආසන දෙකකින් සමන්විත මෙම ගුවන් යානයට පැයට සැතපුම් 186.4 ක වේගයකින් පියාසර කළ හැකිය.

මේ වනවිට ලෝකය වටා තනිවම සැහැල්ලු ගුවන් යානයකින් ගොස් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවූ තැනැත්තිය තිස් හැවිරිදි අමෙරිකානු ජාතික ගුවන් නියමුවරියක වෙන ශෙෂ්ටා වයිස් ය. ඒ, 2017 දීය.

ගුවන් යානා පියාසර කිරීම, සාරා රදර්ෆර්ඩ් ට සහජයෙන් ලැබුණු හැකියාවකි. ඇය පැවැත එන්නේ ගුවන් නියමුවන්ගේ පවුලකිනි. ඇය ගුවන් යානා පැදවීම පුහුණු වූයේ වයස අවුරුදු 14 දීය. ඇය ගුවන් නියමු බලපත්‍රය වසර 2020 දී ලබාගන්නා විට ඇගේ වයස අවුරුදු 17 ක් බව පැවැසෙයි.

ලෝක වාර්තා පිහිටුවමින් පියසැරි වික්‍රම ආරම්භ වුණු වර්ෂයක් ලෙස ගෙවී යන මෙම 2021 සැලකිය හැකිය. ලෝකය වටා පියාසර කළ ළාබාළතම ගැටවරයා ද මෙම 2021 වසරේ ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීය. එම වික්‍රමය කළේ බ්‍රිතාන්‍ය ජාතික 18 හැවිරිදි ට්‍රැවිස් ලුඩ්ලෝව්ය.

පසුගිය මැයි 29 වැනි ආරම්භ කළ එම වික්‍රමය අවසන් කිරීමට දින 44 ක් ගත විය. ට්‍රැවිස් ඔහුගේ වික්‍රමය ආරම්භ කිරීමට සැලැසුම් කර තිබුණේ 2020 ජූනි මාසයේ වුවත්, කොරෝනා වසංගතය ඊට හරස් විය. ඒ අනුව එම වික්‍රමය මෙම 2021 මැයි මාසයේ ආරම්භ වූ බව පැවැසෙයි.


RECOMMEND POSTS