ආර්ටිමිස් 1 ඇරැඹේ



ප්‍රමාද වීම් රැසකින් පසු ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ආර්ටිමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම පසුගිය 16 වැනිදා ආරම්භ විය. ඒ, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති අති ප්‍රබල රොකට් පද්ධතියේ ආධාරයෙන්, ‘ඔරියන්’ නමැති චන්ද්‍ර යානය (කැප්සියුලය) සඳට යැවීමත් සමඟය. පෘථිවි කක්ෂයේ දී රොකට්ටුවෙන් වෙන්වුණු ‘ඔරියන්’ යානය, පෘථිවිය වටා යමින්, පෘථිවි ගුරුත්ව බලය උපයෝගී කරගෙන, සඳ බලා ගමන් ආරම්භ කළේය.

පුහුණු මෙහෙයුමක් බැවින්, ‘ඔරියන්’ යානයේ ගගනගාමීන් නැත. යානය සඳට ගොස් සඳුගේ කක්ෂයට පිවිසී, සඳ වටා යෑමෙන් පසු ආපසු පැමිණෙනු ඇත. යානය සඳට ගොඩ බාන්නේ නැත. ‘ඔරියන්’ පෘථිවියට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් 11 වැනිදා යැයි නාසා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. යානය පෘථිවි වායු ගෝලයට ඇතුළු වීමෙන් පසු පැරෂූට් ආධාරයෙන් මූදට පතිත වෙයි. නාසා ආයතනය ‘ආර්ටිමිස්’ යනුවෙන් නම් කළ මෙම චන්ද්‍ර මෙහෙයුම් ආරම්භ කරන්නේ යළි මිනිසුන් සඳ​​ට යැවීමේ අරමුණින්ය. මීට වසර 50 කට පෙර, ඇමෙරිකාවේ නාසා ආයතනය ගගනගාමීන් සඳට යැව්වේ ‘ඇපලෝ’ මෙහෙයුම් යටතේය. එය ඇමෙරිකාව කළ ලොකු හපන්කමක් විය.

‘ආර්ටිමිස්’ චන්ද්‍ර මෙහෙයුම් මාලාව සුවිශේෂී එකකි. ‘ආර්ටිමිස් 1’ සාර්ථක වූ පසු ‘ආර්ටිමිස් 2’ ඇරැඹෙනු ඇති අතර, එහිදී ‘ඔරියන්’ චන්ද්‍ර යානය සඳට යන්නේ නිකම්ම නොව, ගගනගාමීන් තිදෙනකු ද සමඟය. ‘ආර්ටිමිස් 2’ මෙහෙයුම ද සඳ වටා යෑමක් පමණි. සඳට ගොඩබාන්නේ නැත. සඳ වටේ කැරැකී ‘ඔරියන්’ ආපසු පෘථිවියට පැමිණෙනු ඇත. ‘ආර්ටිමිස්’ මෙහෙයුම් අතරින් වැදගත් මෙහෙයුම වන්නේ ‘ආර්ටිමිස් 3’ මෙහෙයුමය. මෙහිදී ‘ඔරියන්’  යානයෙන් යන නාසා ගගනගාමීන් සඳට පය තැබීමට නියමිතය. යානය පතිත කිරීමට නියමිතව ඇත්තේ සඳේ අඳුරු පැත්තටය. සඳේ අඳුරු පැත්ත මීට පෙර ගවේෂණයට ලක් වී නැත. වැදගත් ම දේ වන්නේ ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේ පළමු වරට කාන්තාවක සඳට පය තැබීමට නියමිත වීමය.

පසුගිය 16 වැනිදා ‘ඔරියන්’ චන්ද්‍ර යානය, පෘථිවි කක්ෂයට තල්ලු කළ ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට්ටුව, නාසා ආයතනය සතු ප්‍රබලතම රොකට් පද්ධතිය ලෙස සැලකෙයි. ‘ඔරියන්’ ගගන කැප්සියුලය, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට්ටු පද්ධතියට අයත් විශාලතම මෙන්ම උසම රොකට්ටුව මුදුණේ සවි කර තිබුණි. රොකට්ටුවේ උස මීටර් 98 කි. ‘ඔරියන්’ චන්ද්‍ර යානය, උඩු ගුවනට තල්ලු කරමින් යද්දී රොකට්ටුවේ කොටස් එකිනෙක පහළ සාගරයට වැටුණු අතර, ඇමෙරිකන් නාවික හමුදාවේ ද උදව්වෙන් එම කොටස් යළි එක් කර ගැනීම සිදුවිය. ඒ, යළි යළි භාවිතය සඳහාය.  ‘ආර්ටිමිස් 1’ මෙහෙයුම ආරම්භ කරමින් ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධතිය ගුවන්ගත වනු දැක ගැනීමට 15,000 කට වැඩි පිරිසක් ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැස්ව සිටි බව ද පැවැසෙයි.

‘ඇපලෝ’ මෙහෙයුම් සඳහා යොදා ගත් ‘සැටර්න් 5’ රොකට්ටුව මෙන් නොව, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට්ටුව, පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී, උඩු ගුවනට විදිනු ලැබුවේ කිලෝ ග්‍රෑම් මිලියන 4 ක තෙරපුමක් ඇති කරමිනි. ‘සැටර්න් 5’ රොකට්ටුව ඇති කළ තෙරපුම කිලෝ ග්‍රෑම් මිලියන 3.4 ක් බව නාසා ආයතනය පවසයි. කිලෝ ග්‍රෑම් 27,000 ක බරක් පෘථිවි කක්ෂයට තල්ලු කර හැරීමට ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ සමත් වෙයි. නාසා තාක්ෂණ ශිල්පීන් පැහැදිලි කරන්නේ අනාගතයේ නිර්මාණය වන සෑම ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධති තව තවත් ප්‍රබල වනු ඇති බවය. අනාගතයේ නිර්මාණය වන ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධති මීටර් 111 ක් උස වනු ඇති බව ද පැවැසෙයි. කිලෝ ග්‍රෑම් 46,000 ක බරක් රැගෙන යෑමට එම රොකට්ටු නිර්මාණය කෙරෙනු ඇත. මේවා නිර්මාණය කෙරෙන්නේ සඳට යෑමට නොව, අඟහරු ග්‍රහයාට සහ අප සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ඕනෑම තැනකට යෑමටය.

‘ආර්ටිමිස්’ චන්ද්‍ර මෙහෙයුම් සඳහා යොදා ගැණුනු ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධතියට භාවිතා කෙරෙන්නේ RS-25 රොකට් ඇන්ජින් ය. මෙවැනි ඇන්ජින් 4 ක් රොකට් පද්ධතියට සම්බන්ධ වී තිබුණි. නාසා ආයතනයේ ෂටල වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී ඒවා සඳහා ද RS-25 රොකට් ඇන්ජින් භාවිතයට ගැනුණි. එකිනෙකට වෙනස් ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධති සඳහා සම්බන්ධ කළ හැකි ආකාරයේ RS-25 රොකට් ඇන්ජින් 16 ක් නාසා ආයතනය සතුය.

මෙම ඇන්ජින් නිරන්තරයෙන්ම නව තාක්ෂණය යොදා ගනිමින් යාවත්කාලීන කෙරේ. ඒ වඩාත් හොඳින් ඒවා ක්‍රියාකාරී විය යුතු බැවිනි. RS-25 රොකට් ඇන්ජින් සඳහා භාවිතයට ගැනෙන්නේ සිසිල් කළ ද්‍රව නයිට්‍රජන් සහ ද්‍රව ඔක්සිජන් ලීටර් මිලියන 3.3 කි. ගුරුත්ව බලයෙන් මිදී උඩු ගුවනට විදීමට බූස්ටර් රොකට්ටු දෙකක් ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධතියට සවි කෙරුණි. මේවා මීටර් 54 ක් උසය. කිලෝ ග්‍රෑම් මිලියන 1.6 ක තෙරපුමක් ඇති කිරීමට මෙම බූස්ටර්වලට පුළුවනි. ලොව මෙතෙක් නිපදවා ඇති ප්‍රබලතම බූස්ටර් රොකට්ටු ලෙස මේවා සැලකෙයි.

ආරම්භ වුණු ‘ආර්ටිමිස් 1’ අත්හදා බැලීමේ මෙහෙයුමට සැබෑ ගගනගාමීන් සම්බන්ධ නොවුණත්, සැබෑ ගගනගාමීන්  ගේ ආරක්ෂාව ගැන අධ්‍යයනය කිරීම සඳහා කෘත්‍රිමව නිපදවූ සන්වේදක සිය ගණනක් සවි කළ ‘ඩමි’ සහභාගී කරවා ගැනෙයි. මේ, ‘ඩමි’, ‘හෙල්ගා’, ‘සොහාර්’ සහ ‘කැප්පොස්’ යන නම්වලින් නම් කර ඇත. මේ ‘ඩමි’ කෘත්‍රිම මිනිස් සිරුරු තුනක් වැනිය. මිනිස් සිරුර කීවත්, ‘හෙල්ගා’, ‘සොහාර්’ සිරුරුවලට අත් පා හෝ හිසක් හෝ නැත. මේවා විශේෂ ප්ලාස්ටික් වර්ගයකින් නිපදවා ඇත්තේ, මිනිස් සිරුරට සමාන ආකාරයකටය. ‘හෙල්ගා’, ‘සොහාර්’ කාන්තා සිරුරුය. කාන්තාවකගේ සිරුරු ලෙස නිර්මාණය කළ ඒවාය. හෘදය, පෙණහළු, විවිධ ඝනත්වයෙන් යුත් අස්ථි සහ සමේ මෘදු පටක ආදිය ද කෘත්‍රිම සිරුරුවල ඇත. සංවේදක සිය ගණනක් ඒවාට සම්බන්ධ කර ඇත.

මේවා පුහුණු මෙහෙයුමට යොදා ගැනෙන්නේ, අභ්‍යවකාශ සවාරියකදී, අභ්‍යවකාශයේ විකිරණ කාන්තාවකට කෙසේ බලපෑමක් කරාවි ද යන්න අවබෝධ කර ගැනීමටය. පුහුණු ගමනේදී ‘ඔරියන්’ යානයේ නියමු කුටියේ ප්‍රධාන අසුන් දෙකේ, ‘හෙල්ගා’ සහ ‘සොහාර්’ ආසන පටි පැලඳවා අසුන් ගැන්වීම සිදු කර ඇත්තේ සැබෑ ගගනගාමීන් එහි අසුන් ගෙන සිටින අයුරිනි. ‘සොහාර්’ ට විශේෂ ආරක්ෂිත ඇඳුමක් පලඳවා ඇත. එම ඇඳුම පොලි-එතලීන් වර්ගයකින් නිපදවා ඇති අතර, එය ‘සොහාර්’ අහිතකර ප්‍රෝටෝන විකිරණවලින් ආරක්ෂා කරනු ඇතැයි විශ්වාස කෙරේ. සඳට යන කාන්තාවන්ට ඉදිරියේ දී පැලඳීමට සිදුවනු ඇත්තේ මෙම ඇඳුමය.

සඳට ගොස් ඇපසු පැමිණීමෙන් පසු හෙල්ගා’ සහ ‘සොහාර්’ සවි කර ඇති සංවේදකවලින් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කරනු ඇත. ඒ අනුව, විකිරණ බලපෑමේ තරම අවබෝධ කර ගැනීමට නාසා ආයතනය සමත් වේවි. ‘කැප්පොස්’ යනු පිරිමි ඩමියකි. මෙම ඩමිය මීට පෙර අභ්‍යවකාශ නැවැතුම්පොළේ පර්යේෂණ සඳහා ද භාවිතයට ගැනුණි. ‘කැප්පොස්’ ඩමියට එම නම යොදා ඇත්තේ නාසා ඉන්ජිනේරු අරූකෝ කැම්පස් සිහි ගන්වමිනි. සඳ ගමනකට එක් වී අකරතැබ්බකට මුහුණ දුන් ‘ඇපලෝ 13’ යානය සහ එහි ගගනගාමීන් තිදෙනා නිරුපද්‍රිතව ආපසු ගෙන ඒමට උදවු කළේ අරූකෝ කැම්පස් ය. ‘කැප්පොස්’ ඩමිය අසුන් ගන්වා ඇත්තේ ‘ඔරායන්’ යානයේ අණ දෙන නිලධාරියාගේ අසුනේය.

සුවිශේෂී දේවල් රැසක් ද‘ආර්ටිමිස් 1’ මෙහෙයුමට එක් කර ගැනෙන අතර, ඒවා සියල්ල ‘ඔරායන්’ යානයේ තැන්පත් කර තිබේ. ඒවා අතරින් සුවිශේෂී දේවල් කීපයක් ගැන පමණක් සඳහන් කරමි. ඇමෙරිකාවට ආවේණික සිකමෝර් ගසක ඇටයක්, මළ මුහුදෙන් ලබා ගත් පුංචි ගල් කැටයක්, රටවල් රැසක පාසල් දරු දැරියන් සහ පුරවැසියන් සඳ ගමන වෙනුවෙන් ලියැවුණු ගී, පද්‍ය, චිත්‍ර ආදිය අඩංගු පෙන් ඩ්‍රයිව් උපාංගයක් සහ ලොගෝ මිනිසුන් කණ්ඩායමක් ද සිටී. නාසා ආයතනය සහ ලොගෝ සමාගම අත්වැල් බැඳගෙන සිටී.

ඒ, කුඩා කාලයේ පටන් ලෙගෝ කැබලි සමඟ සෙල්ලම් කරන පොඩිත්තන් අභ්‍යවකාශය වෙත උනන්දු කරවීමටය. ඇමෙරිකානුවන් අතරේ පමණක් නොව, ලොව පුරා ඉංග්‍රීසි පුවත්පත්වල දකින්න ලැබෙන අතිශය ජනප්‍රිය තීරු චිත්‍රකතාවක් වන්නේ ‘පීනට්ස්’ ය. ‘පීනට්ස්’ චිත්‍රකතා චරිත නිර්මාතෘ චාල්ස් එම්. ෂොල්ස්ය. ‘පීනට්ස්’ චරිත අතරේ පුංචි සුදු බලුපැටවෙක් සිටී. මේ බලු පැටවා ‘ස්නූපි’ ය. ‘ආර්ටිමිස් 1’ මෙහෙයුමට එක් වී ‘ඔරායන්’ යානයෙන් සඳ බලා යන්නේ පුළුන් පිරවූ ‘ස්නූපි’ කෙනෙකි. ‘ස්නූපි’ ශුන්‍ය ගුරුත්වයේ පාවීමට ඉඩ හැරේ. එමගින් ස්නූපිට තුවාල සිදුවන්නේ ද නැතිනම් ආරක්ෂිතව ගමන නිමා කිරීමට හැකිවේවිද ආදිය සොයා බැලෙයි. ‘ෂොන් ද ෂීප්’ සජීවීකරණ පුංචි බැටලුවා ගැන නොදන්න කෙනෙකු නොමැත. ‘ෂොන් ද ෂීප්’ සජීවීකරණ කාටූන් කතා මාලාවකි. ‘ෂොන් ද ෂීප්’ බ්‍රිතාන්‍ය කාටූන් කතාවකි. ‘ෂොන් ද ෂීප්’ අනුරුවකුත් ‘ඔරායන්’ යානයට එක් කර ඇත. ඒ, යුරෝපා අභ්‍යවකාශ ආයතනය නියෝජනය කරමිනි. ‘ෂොන් ද ෂීප්’ සැරැසී සිටින්නේ යුරෝපා අභ්‍යවකාශ ගගන ඇඳුමකිනි.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS