’සයිනෝෆාම්’ එන්නත් ලබාදීම දිගටම



චීන රජය ප්‍රදානය කළ 'සයිනෝෆාම්' කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත අද (13) දිනයේ ද බස්නාහිර පළාතේ ස්ථාන කීපයකදී ජනතාවට ලබා දීම සිදුවිය.

පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය මධ්‍යයේ පවා ගම්පහ, බදුවතුගොඩ කොට්ඨාශයේ ජනතාව අතරින්, අවුරුදු 30 - 60 අතර පිරිසට 'සයිනෝෆාම්' පළමු එන්නත් මාත්‍රාව අද (13) පස්වරුවේ සිදුවිය. ඒ, බදුවතුගොඩ ළමා සහ මාතෘ සායන පරිශ්‍රයේදීය.‍

ඊට අමතරව, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිරෝධායනය වන පවුල් සඳහා රජයෙන් ලබාදෙන රු.5000/= ක් වටිනා වියලි සලාක සහ එළවළු මලු බෙදා දීම ද ගම්පහ ප්‍රාදේශීය ලේකම්තුමිය ලක්ෂීණි ගුණතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මේ අතර, එන්නත නොලැබේවි යැයි කිසිවකු බිය විය යුතු නැතිබවත් කොරෝනා මර්දන එන්නත ලබාදී යුතු සියලු දෙනාට එන්නත නිසි වේලාවට ලබා දීමට කටයුතු කරන බවත් කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර තිබේ.

එන්නත්කරණය සදහා අවශ්‍ය කෙරෙන එන්නත් තොග විදේශයෙන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවද යුද හමුදාපතිවරයා පවසා තිබේ.

ඡායාරූප - ගම්පහ නගරාධිපති
 එරංග සේනානායක මහතාගේ මාධ්‍ය අංශය


RECOMMEND POSTS