විශ්වයේ ඇති බිහිසුණු දේවල්



දැනුම සොයා යන ගමනේ අවසන් මායිම අභ්‍යවකාශය යැයි කීවොත් එය නිවැරදිය. අප ජීවත් වන ග්‍රහලෝකය, ඒ කියන්නේ පෘථිවිය සහ විශ්වයේ අනෙක් සියලු දේ අතර කලාපය අභ්‍යවකාශයයි. අභ්‍යවකාශය ගැන නොදන්නා දේ බොහොමය. අරුම පුදුම, ඔළුව අවුල් කරන අමුතු අසාමාන්‍ය වස්තූන්ගෙන් අභ්‍යවකාශය පිරී ඇත. හිතන්නවත් බැරි තරමේ මහා විනාශකාරී සිදුවීම් අභ්‍යවකාශයේ සිදුවෙයි. සිදුවෙමින් ද පවතී. නැතිනම් සිදුවීමට නියමිතය. මේ සටහනට පාදක වන්නේ, අභ්‍යවකාශයේ ඇති ඇඟ කිළිපොළා යන බිහිසුණු දේවල් ය.

 

1. මෙගා වල්ගාතරුව

වල්ගා තරු ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත. වල්ගා තරු ගැන කියද්දී සිහියට නැගෙන්නේ හේලිගේ වල්ගා තරුවයි. එසේ වීමට හේතුව වල්ගා තරු අතරින් ප්‍රසිද්ධතම වල්ගා තරුව හේලිගේ වල්ගාතරුව නිසාය. ඒත් ඔබ මෙගාවල්ගාතරුව ගැන අසා තිබෙනවාද? මෙම මෙගාවල්ගාතරුව අප සෞරග්‍රහ මණ්ඩලයේ දර්ශනය වූයේ 2021 වසරේදීය. අපට දකින්න ලැබුණු විශාලතම වල්ගාතරුව මෙයයි. පළල කිලෝ මිටර් 137 කි. සාමාන්‍ය වල්ගාතරුවකට වඩා මෙය 100,000 ගුණයකින් විශාලය. තාරකා විද්‍යාඥයන් මෙය නම් කර ඇත්තේ C/2014 UN271 (Bernardinelli-Bernstein) යනුවෙනි. වල්ගාතරුව කොතරම් විශාලද කියනවා නම්, මුලදී විද්‍යාඥයන් මෙය සැලකුවේ කුඩා ග්‍රහලොවක් ලෙසය. වාසනාවට, යෝධ හිම බෝලයක් වැනි මේ දැවැන්තයාගෙන් පෘථිවියට අනතුරක් නැහැ. මෙය පෘථිවිය කිට්ටුවට පැමිණෙයි; නමුත් අනතුරක් නැහැ. විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් අනුව, 2031 දී මේ මෙගා වල්ගාතරුව කිලෝ මීටර් බිලියන 1.6 ක් පෘථිවිය කිට්ටුවට පැමිණෙයි. විද්‍යාඥයන්ගේ අදහස නම් මෙම මෙගා වල්ගාතරුවටත් වඩා දැවැන්ත බිහිසුණු මෙගා වල්ගාතරු තිබිය හැකි බවය. ඒක නම් බිහිසුණු සිතුවිල්ලකි.

2. ඇන්ඩ්‍රෝමීඩා

ඇන්ඩ්‍රෝමීඩා Andromeda යනු පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 2.5 ක් ඈතින් ඇති මන්දාකිණියයි. අප සෞරග්‍රහ මණ්ඩලය අයත් ක්ෂීරපථය හෙවත් කිරිසයුර Milky Way මන්දාකිණිට ළඟින්ම ඇත්තේ ඇන්ඩ්‍රෝමීඩා ය. මෙම මන්දාකිණියේ ගමන් මඟ ගණනය කළ විද්‍යාඥයෝ භීතියට පත් වූහ. ඒ, ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණියේ ගමන් මඟ අනුව එය දිනෙක අපේ ක්ෂීරපථයේ හැපීමට නියමිතය. එසේ වීමට කලින් රාත්‍රී අහසේ ඉතාමත් දීප්තිමත් අයුරින් පෘථිවි අපට  ඇන්ඩ්‍රෝමීඩා දකින්න ලැබෙනු ඇත. බය වෙන්න දෙයක් නැත. ඇන්ඩ්‍රෝමීඩා සහ අප ක්ෂීරපථය එකිනෙකා සමඟ ගැටෙන්නේ තව වසර බිලියන තුනකින් හෝ පහකින්ය.

3. සූර්ය ගිනිදැල්

සූර්ය ගිනිදැල් යනු සූර්යයාගේ මතුපිට පිපිරීම් නිසා විහිදෙන ගිනි ජාලාය. මෙවැනි ගිනි දැල්ලකින් මුදා හරින ශක්තිය මෙගා ටොන් 100 හයිඩ්‍රජන් බෝම්බ මිලියනයක් පුපුරුවා හැරීම හා සමාන යැයි පැවැසෙයි. සූර්ය ගිනිදැල් හේතුවෙන් පෘථිවි චන්ද්‍රිකාවලට බලපෑම් එල්ල වී ඒවා අඩපණ වන අවස්ථා වාර්තා වී තිබේ. සූර්ය ගිනිදැල් හිරුගේ ධ්‍රැව අතර සැතැපුම් 15,000 ක් දුරට විහිදෙයි. ඒවා විහිදී යන්නේ ඉත්තෑවකුගේ කූරු මෙනි. සුර්ය ගිනිදැල් ගැන විද්‍යාඥයන් වැඩි විස්තර දැනගත්තේ හිරු ගවේෂණයට ගිය, හිරු ගවේෂණය වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවූ සෝලා ඕබිටර් රොබෝ යානයේ උදව්වෙනි.

4. සුපර් නෝවා

සුපර් නෝවා supernova යනු විශ්වයේ තවත් බිහිසුණු සිදුවීමකි. සුපර් නෝවා යනු කුමක්ද? සරල පැහැදිලි කිරීම මෙයයි. තරුවක් මියයද්දී, මහා පිපිරුමක් සිදුවෙයි. මෙම පිපිරුම හැඳින්වෙන්නේ සුපර්නෝවා යනුවෙනි. තරුවක මැද ඇත්තේ හයිඩ්‍රජන් වායුවය. හයිඩ්‍රජන් වායුව යම් දිනෙක දහනය වී අවසන් වෙයි. එවිට තරුව මැරෙන්න පටන් ගනී. එය පිම්ඹෙයි. රතු පැහැති යෝධ තාරකාවක් ලෙස එය පිම්ඹෙයි. අපේ හිරු ද තරුවකි. එය යම් දවසක මියයන්න ළං වුණු විට විශාල වෙයි. ප්‍රසාරණය වෙයි. එවිට එය බුද සහ සිකුරු ග්‍රහයන් පමණක් නොව පෘථිවිය පවා ගිල ගනීවි. සුපර් නෝවා පිපිරීමක් සිදුවුවහොත් ආලෝක වර්ෂ 40 ක් හෝ 50 ක් හෝ ඇතුළත පවතින සියලු දේ විනාශ වී දූවිලි වනු ඇත. වාසනාවකට අපේ හිරු හෝ අප පෘථිවිය ආසන්නයේ පිහිටින වෙනත් තරුවක් හෝ පිපිරීමට ආසන්න තත්ත්වයක පවතින්නේ නැත. පිපිරී සුපර්නෝවා තත්ත්වයකට පත් විය හැකි අපට ආසන්නතම තරුව ලෙස විද්‍යාඥයන් හඳුනාගෙන ඇත්තේ බීටර්ජූස් Betelgeuse තරුවය. මෙය ඇත්තේ ආලෝක වර්ෂ 650 ක් ඈතිනි.

5. කළු කුහර

කළු කුහර Black Hole යනු මහ බිහිසුණු දෙයකි. තරුවක්, සුපර්නෝවා තත්ත්වයට පත් වී පිපිරී විනාශ වී ගිය පසු කළු කුහර නිර්මාණය වෙයි. කළු කුහර, ආලෝකය ඇතුළු සියලු දේ ඒ තුළට ඇද ගනී. ආලෝක වර්ෂ යනු අභ්‍යවකාශ වස්තූන්ට ඇති දුර මනින ඒකකයයි. විද්‍යාඥයන් මෙතෙක් කල් විශ්වාස කළේ, අපට ආසන්නතම කළු කුහරය ඇත්තේ ආලෝක වර්ෂ 26,000 ක් දුරින් පිහිටා ඇති බවය. එහෙත්,පසුගිය නොවැම්බරයේ රාජකීය තාරකා විද්‍යා සංගමය පැවැසුවේ අප සූර්යයා මෙන් දස ගුණයක ස්කන්ධයක් සහිත කළු කුහරයක් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,560 ක් දුරින් ඇති බවය. මේ කළු කුහරය ඔපියුකස් තාරකා මණ්ඩලය තුළ පිහිටා තිබෙන අතර, එය Gaia BH 1 යනුවෙන් නම් කෙරුණි. ඒ අනුව, පෘථිවියට ළංව පිහිටා ඇති ඒකම කළු කුහරය වන්නේ ද මෙයයි.

6. උල්කා සහ ග්‍රහක

අප සෞරග්‍රහ මණ්ඩලයේ සැරිසරන ආකාශ වස්තූන් අතරින් අප නිවැරදිව හඳුනා ගෙන ඇත්තේ අතලොස්සක් පමණයි යැයි කීවොත් එය නිවැරදිය. අප කිසිවක් නොදන්නා යෝධ ග්‍රහකයක්, ඔබ මේ ලිපිය කියද්දී, පෘථිවිය දෙසට පැමිණෙනවා විය හැකිය. අවුරුදු මිලියන 66 කට පෙර අතීතයේ ඩයිනසෝරයන් මිහිමතින් තුරන් වූයේ එවැනි යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙනි. වාසනාවකට අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහකවලින් බොහොමයක් හඳුනා ගැනීමටත්, ඒවායේ ගමන් මඟ නිවැරදිව ගණනය කර ගැනීමටත් තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති. පෘථිවියට අනතුරක් විය හැකි ආකාරයේ කිලෝ මීටරයකට වඩා පළල ග්‍රහකවලින් සියයට 90 ක් සහ මහා නගර විනාශ කළ හැකි ආකාරයේ ග්‍රහකවලින් සියයට 50 ක් හඳුනා ගෙන තිබේ. යුරෝපා අභ්‍යවකාශ ආයතනය ග්‍රහක ගැන විමසිල්ලෙන් පසුවන්නේ ‘ගායියා’ Gaia අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙනි. ‘ගායියා’ දුරේක්ෂය අභ්‍යවකාශයට යවා රැඳවූයේ 2013 වසරේදීය. මෙය 2025 තෙක් ක්‍රියාත්මක වෙයි. ‘ගායියා’ දුරේක්ෂයේ අරමුණ, ක්ෂීරපථය ඉතාමත් නිවැරදිව සිතියම්ගත කිරීමය. ‘ගායා’ දුරේක්ෂය තාරකා විද්‍යාඥයන්ට හෙළි කළ දෙයක් නම්, ඔවුන් සිතුවාට වඩා ආකාශ වස්තූන් සෞරග්‍රහ මණ්ඩලයේ සැරිසරයි. එවැනි ආකාශ වස්තූන් 1,50,000 කට වඩා ඇත. ඒවායින් බොහොමයක් ග්‍රහකය.

Live Science ඇසුරිනි


RECOMMEND POSTS