මැක්රොන්ට යළි ජනවරමක්



ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය, පළමු වටයෙන් සති දෙකකට පසු ඊයේ (24) උදේ 8 සිට රාත්‍රී 8 තෙක් පැවැත්වුණු අතර, නිකුත් වූ ප්‍රතිඵල අනුව, ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ට යළිත් පස් වසරක ජනවරමක් හිමිවිය. ඒ අනුව, ප්‍රංශ ජනරජයේ 26 වෙනි ජනාධිපතිවරයා වන්නේ මැක්රොන්ය.

දෙවැනි වටය පැවැත්වූයේ මැක්රොන් සහ ල පෙන් අතරේය. මැක්රොන් වලංගු ඡන්ද 18779641ක් ලබා ගනිමින් හා ප්‍රතිශතයක් ලෙස58.54%ක ඡන්ද ප්‍රතිශතයක්ද ල පෙන් වලංගු ඡන්ද 13297760ක් ලබා ගනිමින් හා ප්‍රතිශතයක් ලෙස 41.46% ක ඡන්ද ප්‍රතිශතයක් ද හිමි කරගත්හ.

ඒ අනුව මැක්රොන් ව්‍යවස්ථානුකූලව මැයි මස 13 වැනිදා නව ජනාධිපතිවරයා ලෙස ජනාධිපති මන්දිරයේදී දිවුරුම්දීමට නියමිතව ඇත. මැක්රොන්, ජයග්‍රහණයෙන් පසු සැලසුම් කර තිබ පරිදිම සුප්‍රසිද්ධ අයිෆල් කුලුන ඉදිරිපස ඉදිවූ වේදිකාවේ සිට සිට රාත්‍රී 9.30 රැස්ව සිටි තම ආධාරකරුවන් අමතා ඔවුන් සමඟ ජයග්‍රහණය භුක්තිවින්දේය.

ජනාධිපතිවරණයේ පළමු වටය පසුගිය අප්‍රේල් 10 වැනිදා පැවැත්වුණු අතර, ඊට අපේක්ෂකයන් 12 දෙනෙක් ඉදිරිපත් වූහ. ඒ අතරින් දෙවැනි වටයට සුදුසුකම් ලැබුවේ මහජන පක්ෂය නියෝජනය කළ මැක්රොන් සහ ජාතික එකමුතුව නියෝජනය කළ ල පෙන් ය.

ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දාායකයෝ මිලියන 46 ක් සිටියහ. ඔවුන් අතරින් 71%ක වලංගු ඡන්ද ප්‍රමාණයක් පාවිච්චි කොට ඇත්තේය. මෙවර ඡන්දය භාවිතා නොකළ ප්‍රමාණය 28%කි. හිස් ඡන්ද ප්‍රමාණය 6.35%කි. වලංගු නොවූ ඡන්ද ප්‍රමාණය 2.25% කි.

ප්‍රංශ වේලාවෙන් 23 වෙනිදාා රාත්‍රියේ සිට කැනඩාවේ මොන්ට්රියල් නගරය, ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය, ඕස්ටේ්‍රලියානු මහද්වීපය අසල පිහිටි පොලෝනෙසිප්‍රන්ශේස් හි එම රටවල පදිංචි ප්‍රංශ පුරවැසි ඡන්ද දාායකයින් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළ අතර ප්‍රංශයේ දී 24 වෙනිදා උදේ 8 සිට රාත්‍රී 8 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 69000ක් විවෘතව පැවැත්විණි. 5000 ක පමණ පොලිස් ආරක්ෂාව සපයා තිබුණේය.

එදින රාත්‍රී 12 වනවිට ඡන්දමධ්‍යස්ථාන වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 26.41% ක අගයක පැවැතුන අතර එය සාපේක්ෂ වශයෙන් වර්ෂ 2017 දී 28.23% ක් හා 2012 දී 30.66%ක ප්‍රතිශතයක් පෙන්වීමෙන් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ යම් අඩුවීමක් දක්නට ලැබුනේය. කෙසේ නමුත් අවසාන ඡන්ද ප්‍රථිපල නිකුත් කරන විට එම අගය 71%ක් වූ අතර වර්ෂ 2017 දී එම ප්‍රතිශතය 74%ක් වූ බව නිල වාර්තා වල සඳහන් වූයේය.

නව ජනාධිපති තේරී පත්වීමෙන් පසු ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත රීතියක් නොවුනත් වර්තමාන අගමැතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය නව ජනාධිපතිවරයාට භාර දීම හා නව රජයක් පත්වන තුරු කාලීන සිදුවීම් සම්බන්ධව කටයුතු කිරීමට ඔහු බැඳී සිටින්නේය.

එබැවින් නව රජයක් පත්කර ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජුනි මස 12 සහ 19 වැනිදා බොහෝ දුරට පැවැත්වීමට නියමිතය. මැක්රොන් නව ජනාධිපති වුවද ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහුට වැඩි බලයක් නොලැබීමට බොහෝදුරට ඉඩකඩ පවතින වාතාවරණයක් මේවනවිට ප්‍රංශය පුරා ගොඩනැගී ඇත්තේය.

සුනිල් ආනන්ද
පැරීසියේ සිට


RECOMMEND POSTS