කොරෝනා නසන පොළොං විස



මුළු ලොවම භීතියෙන් වෙළාගත් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ඉක්මණින් තුරන් වේවා යන්න අප සැමගේ පැතුමය. 'කොවිඩ් 19' අඩපණ කිරීමට, විවිධාකාරයේ ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවා ඇති අතර, ඒවා ලහිලහියේ ජනතාවට ලැබෙමින් පවතී.

රටවල් බොහොමයක්, අනුමත එන්නත්, නියමිත මාත්‍රා දෙකට අමතරව තෙවැනි මාත්‍රාවක් ලෙස බූස්ටර් එන්නත් පවා ලබා දීම ආරම්භ කර තිබේ. 'කොවිඩ් 19' වසංගතයට එරෙහිව දැනට ඇති එකම මෙන්ම හොඳම අවිය වන්නේ එන්නත්කරණයයි. එන්නත් ලබා ගෙන සිටිද්දී, වයිරසය ආසාදනය වුවහොත්, සංකූලතා අවම කර ගනිමින් දිවි බේරා ගැනීමට හැකියාව ලැබෙයි.

'ඇල්ෆා', 'ඩෙල්ටා', 'එප්සලෝන්', 'ලැම්බ්ඩා' ආදී 'කොවිඩ් 19' විකෘති ප්‍රභේදවලට අමතරව, 'මූ' සහ 'සී.1.2.' ආදී වශයෙන් නව විකෘති 'කොවිඩ් 19' වයිරස ප්‍රභේද දෙකක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. ඒ 'මූ' සහ 'සී.1.2.' එන්නත්වලට ප්‍රතිරෝධ දක්වන 'කොවිඩ් 19' වයිරස ප්‍රභේද යැයි හඳුනා ගෙන ඇති බැවිනි.

බ්‍රසීලයට ආවේණික පොළඟකුගේ විෂවලින් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි ඔසුවක් නිපදවීමට හැකියාව ඇතැයි බ්‍රසීල පර්යේෂකයන් පිරිසක් පැවැසුවේ මේ අතරතුරේය.

බ්‍රසීල විද්‍යාඥයන් ඔවුන්ගේ පර්යේෂණ සඳහා යොදා ගෙනඇත්තේ 'ජරාරකුස්සු' නමැති වැලි පොළොං විශේෂයයි. දිග අඩි 6 (මීටර් 2) පමණි. මෙම වැලි පොළඟුන්, වෙරළාශ්‍රිත වනාන්තරවල ජීවත් වන බව පැවැසෙයි. බොලිවියාව, පැරගුවේ සහ ආර්ජන්ටිනාවේ ද මොවුන් දකින්න ලැබේ. ලතින් ඇමෙරිකාවට පමණක් ආවෙණික විශාලතම පොළොං විශේෂය වන්නේ ද ජරාරකුස්සුය.

පොළොං විසෙහි ඇති විශේෂිත අණුවක් වෙන් කර ගනිමින්, ඒවා වඳුරන්ගේ සෛල තුළ වැඩෙන්න සලස්වා ඇති අතර, ඒවාට කොරෝනා වයිරසයේ ප්‍රෝටීන, අඩපණ කර කිරීමට හැකි යැයි පර්යේෂකයෝ පැහැදිලි කරති.

පොළොං විෂවලින් ලබා ගන්නා අණුව, 'කොවිඩ් 19' වයිරසය ප්‍රජනනය සඳහා අත්‍යවශ්‍ය වන PLPro නම් කොරෝනා වයිරසයේ එන්සයිමයකට සම්බන්ධ කළ හැකි පෙප්ටයිඩ Peptide නොහොත් ඇමයිනෝ අම්ල දාමයක් බව ද පැවැසෙයි. මෙම එන්සයිමය භාවිත කරමින්, කොරෝනා වයිරසය සියයට 75 කින් අඩපණ කර ගැනීමට සතුන් යොදා ගනිමින් කළ පරීක්ෂණවලදී වෛදඨ පර්යේෂකයෝ සමත් වී සිටිති.

මෙම පර්යේෂණයට සම්බන්ධ වී සිටින්නේ, බ්‍රසීලයේ සාඕ පාවුලෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෆායෙල් ගුයිඩෝ ඇතුළු වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමය. 'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය ආරම්භයේ පටන් සතුන්ගේ විෂ යොදා ගනිමින් එය අඩපණ කිරීමේ ක්‍රමයක් සෙවීමට මූලිකත්වය ගෙන කටයුතු කළ වෛද්‍ය පර්යේෂකයකු ලෙස ගුයිඩෝ සැලකෙයි.

අත්හදා බැලීම් සිදු කරන මෙම නව ප්‍රතිකර්ම ක්‍රමය, සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ සිදු කරන බවත්, ඉදිරියේ දී පොළොං විෂ යොදා ගනිමින් කොරෝනා අඩපණ කළ හැකි ඔසුවක් නිර්මාණය කිරීම තම අරමුණ බවත්, ගුයිඩෝ මාධ්‍ය හමුවේ පවසා ඇත. බ්‍රසීල සෞඛ්‍ය අමත්‍යාංශයේ සහාය ද පර්යේෂණ සඳහා නොඅඩුව හිමිවෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS