ඇෆ්ගනිස්තානය යළි තලේබාන් ග්‍රහණයේ



වසර 20 ක් තිස්සේ පැවැති යුද්ධය අවසන් බවත්, ඇෆ්ගනිස්තානය මුළුමනින්ම දැන් තම පාලනය යටතේ පවතින බවත් තලේබාන් සංවිධානය පවසයි.

වසර 20කට පසු ඇෆ්ගනිස්තානය යළිත් වරක් තලේබාන් ග්‍රහණයට නතු වූයේ තලේබාන් ත්‍රස්තවාදීන් කාබුල් අගනුවර අල්ලා ගැනීමත් සමඟය.

තව දුරටත් හුදෙකලා වී සිටීමට තම බලාපොරොත්තුවක් නොමැති බවත්,  ජනතා හිතවාදී, ජනතාවට ගැලපෙන ආකාරයේ නව රජයක් පිහිටුවීමට පියවර ගන්නා බවත්, අන්තර් ජාතික ප්‍රජාව සමඟ සාමකාමීව සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් තලේබාන් සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

'දෙවියන්ට ස්තුති වේවා. ඇෆ්ගනිස්තානයේ යුද්ධය අවසන්. ඇෆ්ගන් ජනතාවටත් මුජහදීන්වරුන්ටත් අද සතුටු වෙන්න පුළුවන් දවසක්.' යැයි තලේබාන් දේශපාලන කාර්යාලයේ ප්‍රකාශක මොහොමද් නහීම් අල් ජසීරා පුවත් නාළිකාවට පවසා තිබේ.

'ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සාමාකාමීව සහයෝගයෙන් කටයුතු කරන්න අප සූදානම්. ඇෆ්ගන් ජනතාවට සහ ඇෆ්ගනිස්තානයට නිදහස ලැබුණා. මින් ඉදිරියට අපේ රට, කිසිදු පාර්ශ්වයකගේ අතකොළුවක් වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි කිසිම කෙනකුට අනතුරක් කරන්න හෝ හිරිහැර කරන්න හෝ අප පියවර ගන්නේත් නැහැ.' යැයි මොහොමද් නහීම් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

90 දශකයේ තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානය පාලනය කළේ ඔවුන්ට පමණක් ආවේණික වූ ෂරියා නීතිරීති සකස් කර ගනිමිනි. තලේබාන් සංවිධානය ඉස්ලාමීය මූලධර්මවාදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකි.

සිවිල් වැසියන්ට කිසිදු අනතුරක් නොකරන බව පැවැසුවත්, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර හිතවාදී සිවිල් වැසියන්, ආගමික නායකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් සොයා ඔවුන් ඝාතනය කිරීමට තලේබාන් ත්‍රස්තයන් කටයුතු කරන බව බටහිර පුවත් සේවා වාර්තා කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS