ඇෆ්ගන් දැරියෝ දිගටම පාසලේ



ඇෆ්ගනිස්තානයේ හේරත් නුවර, බාලිකා පාසල් දිගටම විවෘතව තැබෙන බවත්, බලිකාවන් හිජාබයෙන් සැරසී 'කොවිඩ් 19' වසංගතයෙන් ආරක්ෂා වීමට මුහුණු ආවරණ ද පැලඳ සුපුරුදු පරිදි පාසල් පැමිණෙන බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානයේ බලය යළි අත්පත් කරගත් තලේබාන්වරුන් පවසා ඇත්තේ, තමන් ජනතා හිතවාදී, මධ්‍යස්ථ පාලන ක්‍රමයක් සකස් කර දෙන බවය. 'ඉස්ලාම් නීතිය සහ සංස්කෘතිය' නමැති රාමුව තුළ බාලිකා අධ්‍යාපනයටත්, කාන්තාවන්ට රැකියාවල නියැලීමටත් අවසර ලබා දෙන බවත්, තමන් පිහිටුවන නව රජයට කාන්තා නියෝජනයක් අවශ්‍ය බවත්, කාන්තා අයිතීන් සුරකින බවත් තලේබාන්වරුන් අවධාරණය කර තිබේ. ජාත්‍යන්තරය සමඟ යහපත් සබඳතා පවත්වා ගන්නා බවත්, කිසිවකුගෙන් පළිනොගන්නා බවත් තලේබාන්වරුන් වැඩිදුරටත් පවසා ඇත.

90 දශකයේ ඇෆ්ගන් සිවිල් යුද්ධයෙන් පසු තලේබාන්වරුන් රටේ බලය අල්ලා ගත්තේ අවනීතිය රජකරමින් තිබුණු අවස්ථාවකය. තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික ආකාරයට, දලදඩු ෂරියා නීතියක් ඇෆ්ගනිස්තානයට හඳුන්වා දුන්නේය. ඒ, අපරාධ මුලිනුපුටා දැමීමට සහ විනය ගරුක සමාජයක් ඇති කිරීමටය. තලේබාන්වරුන් එසේ කළේ නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය ඇෆ්ගන් වැසියන්ගෙන් උදුරා ගනිමිනි.

එදා ඔවුන්ගේ ෂරියා නීතියට අනුව, කාන්තාවන්ට තහංචි පැනැවිණි. කාන්තාවන් සැමවිටම සිරුර ආවරණය කර ගැනීම අනිවාර්ය විය. බාලිකා අධ්‍යාපනය තහනම් විය. පිරිමින් රැවුල වැවීම කළ යුතු විය. සිනමාව, රූපවාහිනිය, නාට්‍ය තහනම් කෙරුණි. අපරාධකරුවන්ට ෂරියා නීතිය යටතේ ප්‍රසිද්ධියේ කුරිරු ලෙස දැඩි දඩුවම් ලබා දීම සිදුවිය.

2001 වසරේ ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝව තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමෙන් පසු ෂරියා නීතිය අහෝසි කෙරුණි. නව ව්‍යවස්ථාවක් සකස් කර දී ඇෆ්ගනිස්තායේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්විණි. ඇෆ්ගනිස්තානයේ බාලිකා පාසල් පිහිටුවීම සහ බාලිකාවන්ට අධ්‍යාපන ලබා දීම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල ප්‍රධාන අරමුණක් විය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS