අවුලක් වුණු ජනපතිවරණය



ලොව කාගේත් අවධානය යොමු වී ඇත්තේ ඇමෙරිකන් ජනාධිපතිවරණය කෙරෙහිය. රිපබ්ලිකන් පාක්ෂික වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් සිවු වසරක කාලයක් සඳහා ජනපති ධුරයේ රැඳී සිටීවි ද නැතිනම් ප්‍රතිවාදී අපේක්ෂක ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා වේවිද යන්න ප්‍රශ්නාර්ථයකි.

ඇමෙරිකා ජනාධිපතිවරණය යනු ලොව ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමයකි. අතීතයේ සිට මේ දක්වා පැවැති සෑම ඇමෙරිකන් ජනාධිපතිවරණයක් සර්ව සාධාරණ අයුරින් පැවැත්වුණු අතර, මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී පවා තමන් පරාජය වන බව නිසැකවම කල්තියා අවබෝධ කර ගැනීමට හැකිවුවහොත්, ජයග්‍රාහකයාට සුබ පතමින්, පරදින අපේක්ෂකයා පරාජය බාර ගනී. ලොව ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස ලොවට ආදර්ශයක් වන ඇමෙරිකන් ජනාධිපතිවරණය මේ මොහොතේ අවුල් ජාලයක් වී තිබේ.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජනපති ට්‍රම්ප් සහ බයිඩන් ජයග්‍රහණය කළ බව කල් තියා පවසා ඇත. බයිඩන් ඉදිරියට යද්දී, ඡන්ද ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බවටත්, ඡන්ද වංචා සිදුවී ඇති බවටත් ට්‍රම්ප් චෝදනා කර තිබේ. ඇමෙරිකානු ජනාධිපතිවරණයක් මේ අයුරින් අවුල්සහගත තත්ත්වයකට පත්වීම මින් පෙර සිදුවී නැත. ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය අර්බුදයකට ලක්වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අද (5) සවස් වනවිටත් ඇමෙරිකා ජනාධිපතිවරණයෙන්, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින බව ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී ගියේය. ඇමෙරිකන් ඉතිහාසයේ ජනපති ධුර අපේකෂකයකු ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව දිනා ගැනීමට ද ජෝ බයිඩන් සමත් විය. එම ඡන්ද සංඛ්‍යාව 72,102,585 ක් බවත් ට්‍රම්ප් දිනාගත් ඡන්ද සංඛ්‍යාව 68,637,070 ක් බවත් පැවැසිණි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 50.4 ක් සහ 48 කි‍.

කෙසේ නමුත්, ඇමෙරිකන් ජනාධිපති ක්‍රමය අනුව, ජනපතිවරණ ජයගෙන, ධවල මන්දිරයට යන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමි කර ගන්නා අපේක්ෂකයා නොව, ඉලෙක්ට්‍රෝරල් කොලේජ් ඡන්ද (ඡන්ද ගණ) 270 සීමාව පසු කරන අපේක්ෂකයාය. සමස්ත ඡන්ද ගණ සංඛ්‍යාව 538 කි. ඇමෙරිකන් ඉතිහාසයේ මීට පෙර අවස්ථා කිහිපයකදීම වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයාට ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි විය.

ජනාධිපතිවරණයකදී තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව,  ඇමෙරිකන් කොංග්‍රසයට (පාර්ලිමේන්තුවට) නියෝජිතයන් තෝරා ගැනීම ද සිදුවෙයි. ඇමෙරිකන් කොංග්‍රසය, සෙනෙට් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකකි. ජනාධිපතිවරණයේදී, ජනතාව තමන් ප්‍රිය කරන ජනපති අපේක්ෂකයාට ඡන්දය දුන්නත්, එම ඡන්දය සෘජුව එම අපේක්ෂකයාට හිමි වන්නේ නැත.  ඡන්දය හිමිවන්නේ ඇමෙරිකාවේ ප්‍රාන්තවල එම අපේක්ෂකයාගේ පක්ෂයේ නියෝජිතයන්ටය. ඡන්ද ගණ එසේත් නැතිනම් ඉලෙක්ට්‍රෝරල් කොලේජ් ඡන්ද යනු මෙම නියෝජිතයන් ගණනය. ප්‍රාන්තයට නියෝජිතයන් කී දෙනෙකු සිටිනවා ද යන්න තෝරා ගැනීම සිදුවන්නේ එම ප්‍රාන්තයේ ජනගහනය අනුවය. සෑම වසරක 10 කට වරක්ම ප්‍රන්ත මට්ටමින් ජන සංගණන සිදුවන්නේ මේ නිසාය.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය 3 වැනිදාය. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී, ට්‍රම්ප් සහ බයිඩන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ තමන් ජයග්‍රහණය කළ බවය. ඇමෙරිකන් දේශපාලන ඉතිහාසයේ ඡන්ද ගණන් කරමින්, ප්‍රතිඵල නිකුත් වෙද්දී, අපේක්ෂකයන් දෙදෙනා තමන් ජයග්‍රහණය කළේ යැයි පැවැසූ පළමු අවස්ථාව මෙය යැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනකු අපේක්ෂකයන් දෙදෙනාගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳ මවිතය පළ කර තිබේ.

පළමුවෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ බයිඩන්ය. ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි. බයින් අත්දැකිම් බහුල පරිනත දේශපලනඥයෙකි. හිටපු උප ජනාධිපතිවරයෙකි. කල්වේලා ඇතිව ජයග්‍රහණයේ මාවතට පිවිසුණැයි ප්‍රකාශ කිරීම බයිඩන් වැන්නකුට සුදුසු නොවන බව දේශපාලන විශ්ලේෂකයේ පැවැසූහ. අප ජයග්‍රහණයේ මාවකට එළැඹී සිටිනවා යැයි ඩිමොක්‍රටික් පක්ෂ ආධාරකරුවන් හමුවේ බයිඩන් පැවැසුවේ, ඔවුන් දුන් සහාය වෙනුවෙන් තුති පුද කරමිණි. එම අවස්ථාවට බයිඩන්ගේ බිරිඳ ජිල් ද එක් වී සිටියාය. බයිඩන් කළ එම ප්‍රකාශය ට්‍රම්ප් කුපිත කිරීමට හේතුවක් විය.

ඉන් පැය කීපයක් යද්දී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවකට එක් විය. ජනපති ආර්යාව මෙලානියා, වත්මන් උප ජනාධිපති මෙන්ම, යළිත් එම ධුර අපේක්ෂා කරන මයික් පෙන්ස් සහ පෙන්ස්ගේ බිරිඳ ද එම මාධ්‍ය හමුවට එක්වූහ. ජනපති ට්‍රම්ප් එම අවස්ථාවේදී පෙන්වා දුන්නේ, ඡන්ද වංචා රැසක් සිදුවී ඇතැයි තමන් විශ්වාස කරන බැවින් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය පතන බවය. මි

ලියන ගණනක් තමන්ගේ ජයග්‍රහණය සහිතක කිරීමට ඡන්දය දී ඇති නමුත් අතලොස්සක් තම ජයග්‍රහණය උදුරා ගැනීමට තැත් කරනවා යැයි ජනපතිවරයා චෝදනා කළේය. ඊයේ (5) දහවල් වෙද්දී, ඡන්ද ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබුණේ ප්‍රාන්ත 6 ක පමණි. ඇලෙස්කා, ඇරිසෝනියා, ජෝජියා, නෙවාඩා, උතුරු කැරොලිනා සහ පෙන්සිල්වේනියා එම ප්‍රාන්ත 6 ය. ඒ අනුව ජය පැරදුම තීරණය වන ප්‍රාන්ත බවට මෙම ප්‍රාන්ත 6 පත්විය.

අධිකරණයේ සහාය පතමින්, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා ප්‍රාන්තවල ඡන්දය ගණන් කිරීම අත්හිටුවීමට පියවර ගන්නා බව ට්‍රම්ප් පැවැසුවේය. එසේ වූයේ එම ප්‍රාන්තවල බලය ජෝ බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවීමේ ළකුණු පෙන්නුම් කළ බැවිනි. ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නෙවාඩා ප්‍රාන්ත නීතීපතිවරයා වන ඇරොන් ෆෝඩ් මාධ්‍ය හමුවේ කියා සිටියේ, ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම නවත්වන්නැයි ජනපති ට්‍රම්ප් නීති මගින් ක්‍රියා කරන්නේ නම්, ඊට එරෙහිව නීති මගින් ප්‍රති පියවර ගැනීමට සූදානමින් සිටින බවය.

ඇමෙරිකන් ඉතිහාසයේ වැඩිම මුදලක් වැය වුණු ජනාධිපතිවරණය මෙය වන අතර, කොරෝනා වසංගතය හේතුවෙන් කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවට අවස්ථාව උදා කර දී තිබුණු බැවින්, පසුගිය 3 වැනිදා, ජනාධිපතිවරණය දිනය වනවිට මිලියන 100 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි. ඒ අතරේ ට්‍රම්ප් සහ බයිඩන් ද සිටියහ. වයිරස වසංගතය හේතුවෙන් බොහෝ දෙනකු තැපැල් ඡන්ද භාවිත කර තිබුණු අතර ඊයේ වනවිටත් ඉහත කී ප්‍රාන්තවල තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කර තිබුණේ නැත. විදෙස්ගත ඇමෙරිකන් ඡන්ද දායකයන්ගේ ඡන්ද ඇතුළත් ඡන්ද පෙට්ටි ඇමෙරිකාවට ළං වීම ප්‍රමාද වී තිබුණි. බොහෝ ඡන්ච පෙට්ටි ලැබුණු බව පැවැසුණේ ඊයේ දිනයේය. එසේ ඡන්දය ප්‍රකාශ කළ විදෙස්ගත ඇමෙරිකාවනුවන් අතර, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ හමුදා සොල්දාදුවෝ ද සිටිති.

රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS