අල් කුරේෂිගේ අවසානය



'අයි.එස්' හෙවත් 'අයි.එස්.අයි.එස්' ත්‍රස්ත සංවිධානයේ නායක අබු ඊබ්‍රහීම් අල් හෂීමි අල් කුරේෂි මරා දැමීමට තම හමුදා සමත් වූ බව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවැසීය. මෙය ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ඇමෙරිකාව ලැබූ තවත් ජයග්‍රහණයකි.

අල් කුරේෂි යනු ලොවටම තර්ජනයක් වූ අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායකත්වයට පත් වුණු දෙවැනියාය. අයි.එස්. සංවිධානය අල් කුරේෂි තම නායකයා බව පිළිගත්තේ 2020 වසරේදීය. ඒ, අයි.එස්. සංවිධානයේ පළමු නායකයා මෙන්ම අයි.එස්. සංවිධානය පිහිටුවීමේ පුරෝගාමියා ලෙස ද සැලකෙන අබු බකර් අල් බැග්ඩෑඩි ඝාතනයෙන් පසුවය.

මැදියම් රැය පසුවී පැයක් ගතවී තිබුණි. ඇමෙරිකන් 'ඩෙල්ටා ෆෝස්' සෙබළුන් රැගත්, 'බ්ලැක්හෝක්' වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් ඉතා වේගයෙන් මෙන්ම ඉතා පහතින් නියමිත ඉලක්කය වෙත පියාසර කරන්න විය. 'ඩෙල්ටා ෆෝස්' කොමාන්ඩෝ කණ්ඩායමට එම ඉලක්කය ලබා දී තිබුණේ බුද්ධි අංශ සාමාජිකයන්ය. ඉලක්කය වූයේ අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ නායක අබු ඊබ්‍රහීම් අල් හෂීමි අල් කුරේෂි ය. අයි.එස්. නායකයා වීමෙන් පසු අල් කුරේෂි, නිහඩව සැඟවී ජීවත් වූ අයෙකි. අල් කුරේෂි ඔහුගේ බිරියන් සිවුදෙනා සහ දරුවන් සය දෙනා සමඟ සැඟවී ජීවත් වූයේ තුර්කි දේශසීමාව අසල සිරියාවට අයත් ඉඩ්ලිබ් පළාතේ අට්මේ නමැති කුඩා නගරයේ කෙළවර පිහිටි තෙමහල් නිවසක තෙවැනි මහලේය.

පසුගිය 3 වැනිදා අලුයම 1 ට පමණ, අට්මේ වැසියන් තිගැස්සී අවදි වූයේ හෙලිකොප්ටර් යානා හඩිනි. අවදි වී බලද්දී ඔවුන්ට දකින්න ලැබුණේ හෙලිකොප්ටර් යානා තෙමහල් නිවස වට කර ඇති ආකාරයයි. ඇමෙරිකන් සෙබළුන් සමඟ පැමිණ සිටි අරාබි පරිවර්තකයකු කුඩා ශබ්දවාහිනී යන්ත්‍රයක ආධාරයෙන් මොර දෙන්න විය. 'හැමදෙනාම යටත් වෙන්න. කුඩා දරුවන්ට කාන්තාවන්ට අපෙන් අනතුරක් නැහැ. යටතේ වෙන්න. යටත් වුණොත් කාටවත් අනතුරක් වෙන්නේ නැහැ. නැතිනම් මැරෙන්න වේවි' යැයි අරාබි භාෂා පරිවර්තකයා කෑ ගසන්න වූයේ ඇමෙරිකන් සොල්දාදුවන් ඔහුට ලබා දුන් උපදෙස් අනුවය.

ඒ වනවිට අල් කුරේෂි සිටි තෙමහල් නිවස ඇමෙරිකන් සොල්දාදුවන් විසින් වට කරනු ලැබ තිබුණි. ඔවුහු අඳුර විනිවිද දැකිය හැකි 'නයිට් විෂන්' කණ්ණාඩි පැලඳ නවීන පන්නයේ අවි ආයුධවලින් සමන්විතව සිටියහ. සෑම සොල්දාදුවකුගේම හෙල්මට්ටුවට කැමරාවක් සම්බන්ධ වූ අතර, එම කැමරාවලින් ලැබුණු දසුන් ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය හරහා ධවල මන්දිරයේ 'සිටුවේෂන් රූම්' කාමරය වෙත ලැබෙන්න විය. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, උප ජනාධිපතිනී කමලා හැරිස් ඇතුළු ධවල මන්දිර ප්‍රධානීන් සහ හමුදා ප්‍රධානීන් සිටියේ එම දසුන් වෙත දෑස් දල්වා ගනිමිනි.

'යටත් වෙන්න; කුඩා දරුවන්ට අනතුරක් නැහැ.' යැයි අරාබි පරිවර්තකයා කෑ මොර දුන් නමුත්, යටත් වීමේ අදහසක් අල් කුරේෂි සතුව නොතිබුණි. නිවසට ඉහළින් හමුදා හෙලිකොප්ටර් යානා කැරැකෙද්දී, හතර වටින් ඇමෙරිකන් සොල්දාදුවන් නිවස වට කර සිටිද්දී, තෙවැනි මහලේ සිටි අල් කුරේෂිට කළ හැකි වූයේ එක් දෙයක් පමණි. ඒ සඳහා ඔහු කල් තියා සූදානමින් සිටියේය. නිවසේ තෙවැනි මහල පුරා පුපුරන ද්‍රව්‍ය අටවා තිබුණි. අල් කුරේෂි ඒවා පුපුරුවා ගත්තේය. එය ප්‍රබල මෙන්ම බිහිසුණු මරාගෙන මැරෙන පිපිරීමක් විය. අල් කුරේෂි, ඔහුගේ බිරියන් සහ දරුවන් ඊට හසුවිය.

පිපිරුම සිදුවුණු සැණින්, නිවස වට කරමින් සිටි සෙබළුන් නිවසට කඩා වැදුණි. ඒ සමඟම නිවසේ දෙවැනි මහලින් සෙබළුන් වෙත වෙඩි ප්‍රහාර එල්ල වූ බව පැවැසෙයි. අල් කුරේෂි සමඟ අයි.එස්. සංවිධානයේ ලුතිනන්වරුන් ලෙස කටයුතු කළ අයි.එස්. සාමාජිකයන් සහ ඔවුන්ගේ බිරියන් පදිංචි වී සිටි අතර, වෙඩි තබන්න වූයේ ඔවුන්ය. ප්‍රතිප්‍රහාර එල්ල කරමින් එම සියලු දෙනා මරා දැමීමට  ඇමෙරිකන් සොල්දාදුවන් සමත් වූ බව පැවැසෙයි. අයි.එස්. නායකයා වීමෙන් පසු අල් කුරේෂි සැඟවී නිහඩ ජීවිතයක් ගත කළ අතර, ඔහු වෙනුවෙන් පණිවුඩ රැගෙන යෑම සිදුවූයේ නිවසේ සිටි මෙම ලුතිනන්වරුන් හරහා යැයි ඇමෙරිකන් බුද්ධි අංශ පසුව පැහැදිලි කළේය‍.

හමුදා මෙහෙයුම අතරතුරේ එක් 'එම්.එච්.60' බ්ලැක්හෝක් හෙලිකොප්ටර් යානයක දෝෂයක් සිදුවිය. එය ආරක්ෂිතව ගොඩබැස්සීමට නියමුවෝ සමත් වූහ. යානයේ දෝෂය නිවැරදි කර ගැනීමට කල් වේලා නොතිබුණේ ඒ වනවිටත්, අට්මේ කුඩා නගරයේ සැඟවී සිටි තවත් අයි.එස්. සාමාජිකයන් අල් කුරේෂි සිටි නිවස බලා පැමිණෙමින් සිටි බැවිනි. ඒ අනුව, මිලියන 5 ක් වටිනා බ්ලැක් හෝක් හෙලිකොප්ටරය සතුරන් අතට පත්වීම වළක්වමින්, පුපුරන ද්‍රව්‍ය අවටා එය විනාශ කර, ඇමෙරිකන් සොල්දාදුවෝ පිටව ගියහ. ප්‍රතිප්‍රහාර සඳහා පැමිණි සෙසු අයි.එස්. ත්‍රස්තවාදීන්ට නියමුවන් රහිත ඩ්‍රෝන යානා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකන් හමුදාව කටයුතු කළ බව ද වාර්තා වේ.

නිවසට ඇතුළු වුණු ඇමෙරිකන් සෙබළුන් අල් කුරේෂිගේ සිරුර හඳුනා ගත් අතර, ඩීන්.එන්.ඒ. සාක්ෂි ද එකතු කර ගැණුනි. 2011 දී ඇමෙරිකන් හමුදා අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කළ අවස්ථාවේදී ඔහුගේ සිරුර රැගෙන ගියේය. කෙසේ නමුත්, අල් කුරේෂි ඝාතනයේ දී එවැන්නක් සිදුනොවුණි. අල් කුරේෂිගේ සිරුරු කොටස් නිවසේ තිබියදී ඇමෙරිකන් සෙබළු පිටව ගිය බව පැවැසෙයි. පැය දෙකක මෙහෙයුම අවසන් වෙද්දී, අල් කුරේෂි ඇතුළු 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඒ අතර, ආරක්ෂක පළිහක් වුණු කුරේෂිගේ බිරියන් සිවු දෙනා සහ දරුවන් 6 දෙනා සිටින බව ඇමෙරිකාව නිවේදනය කළේය. දරුවන්ගේත් කාන්තාවන්ගේත් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි සෑම උක්සාහයක්ම ගත් බව ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ඔස්ටින් ලොයිඩ් පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේය.

අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු ඊබ්‍රහීම් අල් හෂීමි අල් කුරාෂියාල් කුරේෂි මරා දැමීමට හැකිවුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කළේ ඉන් අනතුරුවය. අල් කුරේෂිගේ හිසට ඇමෙරිකාව ඩොලර් මිලියන 10 ක් නියම කර තිබුණි. ඇමෙරිකන් බුද්ධි අංශවලට අල් කුරේෂි ආගන්තුකයකු නොවන බව පැවැසෙයි. ඔවුන් 'ප්‍රෙෆෙසර්' යනුවෙන් ද අල් කුරේෂි හඳුන්වා දී තිබේ. 2008 වසරේ අල් කුරේෂි ඇමෙරිකන් අත්අඩංගුවට පත් වී මාස ගණනක් ඇමෙරිකන් රැඳවුම් කඳවුරක සිටි අතර, එහිදී ඇමෙරිකාවේ බුද්ධි අංශ විශ්වාසය තැබූ ඔත්තු සපයන්නෙකු වූයේ ද මොහුය.

අල් කුරේෂි අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයට නායකත්වය දුන් දෙවැනි නායකයාය. අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ නිර්මාතෘවරයා මෙන්ම එහි පළමු නායකයා ද වූයේ අබු බකර් අල් බැග්ඩැඩිය. අල් කුරේෂි උපත ලබා ඇත්තේ 1976 වසරේ ඉරාකයේ අල් අෆාර් නමැති සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන කුඩා නගරයේය. අල් කුරේෂි ලෙස නම වෙනස්කර ගැනීමට පෙර, ඔහු හජ්ජි අබ්දුල්ලා අල් අෆාරි විය.

අල් කුරේෂි, ඉරාක නායක සදාම් හුසේන්ගේ හමුදාවේ හමුදා නිලධාරියකු ලෙස රාජකාරි කළ අයෙකි. 2003 දී ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කළ ජෝර්ජ් බුෂ්, සදාම් හුසේන්ගේ පාලනය පෙරළා ඉරාකය ආක්‍රමණය කළ අවස්ථාවේදී ඉරාක හමුදාව විසුරුවා හැරුණි. එවකට ඉරාකයේ ක්‍රියාත්මක් වූ අල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පවත්වනවා යැයි චෝදනා ලැබූ අල් කුරේෂි අත්අඩංගුවට ගෙන ඉරාක බන්ධනාගාරයකට යැවුණි. එහි දී ඔහුට දැඩි අන්තවාදී අදහස් ඇති, නව ඉස්ලාමීය සංවිධානයක් පිහිටුවීමට සූදානම් වූ තැනැත්තකු හඳුනා ගැනීමට හැකිවිය. ඔහු අල් බැග්බෑඩි ය. දෙදෙනා අතරේ හිතවත්කම් වර්ධනය වූයේ ඒ අනුවය.

අයි.එස්. සංවිධානය ආරම්භයේ දී අල් කයිඩා කොටසක් වූ අතර, පසුව එහ බිහිසුණු අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් බවට පත් වී ලොව පුරා භීෂණය පතුරුවන්න වූයේ 2011 වසරේ පමණ සිටය. සිරියානු සිවිල් යුද්ධය හමුවේ, එරට විපක්ෂ සන්නද්ධ කණ්ඩායම්වලට ඇමෙරිකාවෙන් සහ ප්‍රංශයෙන් ආයුධ ලැබෙද්දී, ඒවායින් ශක්තිමත් වූයේ අයි.එස්. සංවිධානයයි. ඔවුන් සිරියාවේත් ඉරාකයේත් අල්ලා ගත් පළාත් එක් කරමින් ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවූ අතර අල් බැග්ඩෑඩි එහි නායකයා විය. කෙසේ නමුත් අයි.එස්. ත්‍රස්ත සංවිධානය අඩපණ කිරීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ද තුර්කිය, ඉරානය සහ රුසියාව ද පසුව සමත් විය.

2019 වසරේ අප්‍රේල් 21 පාස්කු දා මෙරට සිදුවුණු ම්ලේච්ඡ බෝම්බ පිපිරීම්වල වගකීම අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ හිතවාදින් විසින් බාර ගනු ලැබූ අවස්ථාවේ, වසර ගණනක් සැඟවී සිටි අල් බැග්ඩෑඩි රහස් ස්ථානයක සිට වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ලොවට තර්ජනය කළේය. එය ඔහුගේ අවසන් තර්ජනය විය. ඇමෙරිකන් හමුදා අබු බකර් අල් බැග්ඩෑඩි සොයා ඝාතනය කළේ 2019 වසරේ ඔක්තෝබර් 27 වැනිදාය. අල් බැග්ඩෑඩි ද සැඟවී සිටියේ සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ නිවසකය. අල් බැග්ඩෑඩි ඝාතනය කිරීමේ මෙහෙයුම් සඳහා අණ දුන්නේ එවකට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූ ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS