ගගන සවාරියක් යන බිලියනපතියා



බ්‍රිතාන්‍ය ජාතික කෝටිපති ව්‍යාපාරික ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන්, ඔහුගේ ඇමෙරිකාවේ පිහිටි 'වර්ජින් ගැලැක්ටික්' සමාගම නිපදවූ සුවිශේෂී සුපර්සොනික් ගගන යානයෙන් අභ්‍යවකාශට ගොස් ආපසු පැමිණීමට සූදානම් වෙයි.

මෙය අභ්‍යවකාශ ගමන් බිමන් වාණිජකරණය සහ පෞද්ගලිකකරණය කිරීමේ පළමු පියවර ලෙස සැලකෙයි. ඒ අනුව, ඉදිරියේ දී 'වර්ජින් ගැලැක්ටික්' සමාගම හරහා අතමිටසරු ඕනෑම අයකුට අභ්‍යවකාශ සංචාරකයන් ලෙස උඩු ගුවනට ගොස් ආපසු පැමිණීමට ඉඩ ලැබෙනු ඇත. විදෙස් පුවත් සේවා පෙන්වා දෙන අන්දමට බ්‍රැන්සන්ගේ මෙම ගගන ගමන ඓතිහාසික වනු ඇත. එමෙන්ම එය අභ්‍යවකාශ ගමන් බිමන්වල නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇත.

මේ වනවිටත්, දින දෙකක කෙටි පුහුණුවකින් පසු, 'වර්ජින් ගැලැක්ටික්' සමාගම සමඟ එක්වෙමින් ගගන සංචාරවල නියැළීමට ලොව කෝටිපතියන් 600 කට වැඩි පිරිසක් මුදල්ගෙවා ලියාපදිංචි වී සිටින බව වාර්තා වේ. 'වර්ජින් ගැලැක්ටික්' සමාගම ගගන සංචාරය සඳහා ටිකට්පත් අලෙවි කිරීම සිදුවන්නේ ඇමෙරිකන් ඩොලර් 250,000 (ශ්‍රී ලංකා රුපියල්වලින් 49,785,238 ක් පමණ) මුදලකටය.

ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් 2004 වසරේ දී 'වර්ජින් ගැලැක්ටික්' සමාගම යන නමින් අභ්‍යවකාශ සමාගමක් ආරම්භ කළේ ලොව ඕනෑම කෙනකුට ගගනගාමියකු ලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට ඉඩ සලසා දීමේ අරමුණින්ය.

'වර්ජින් ගැලැක්ටික්' සමාගම වසර ගණනක් තිස්සේ අත්හදා බැලීම් කරමින් නිර්මාණය කළ සුපර්සොනික් ගගන යානය හැඳින්වෙන්නේ 'වර්ජින් ස්පේස්ෂිප් යුනිටි' යනුවෙනි. මෙය ගුවන් යානයකට සමානය. මෙය පෘථිවියේ සිට උඩු ගුවනට තල්ලු කරමින් රැගෙන යෑම සිදුවන්නේ මවු යානයක් මගිනි. එය හැඳින්වෙන්නේ 'ඊව්' යන නමිනි. 'වර්ජින් ස්පේස්ෂිප් යුනිටි' යානයටත් 'ඊව්' මවු යානයටත් වෙන වෙනම නියමුවෝ දෙදෙනා බැගින් සිටිති.

නියමුවන් දෙදෙනාට අමතරව, වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානයේ ගගන සංචාරකයන් සඳහා ආසන 6 කි. සෑම ආසනයක් ළඟම විශාල වීදුරු ජනේලයක් ඇත්තේ අවට නැරඹීම සදහාය.

වර්ජින් මවු යානය 'ඊව්' යානය පැයට සැතපුම් 2,300 ක වේගයකින් අඩි 50,000 ක් උඩු ගුවනට ගොස් වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානය මුදා හැරීම සිදු කරයි. මේ සඳහා මිනිත්තු 45 ක් ගතවෙයි. අනතුරුව 'ඊව්' යානය ආපසු පෘථිවියට පැමිණෙයි. අභ්‍යවකාශයට ගොස් යළි පෘථිවිය බලා පැමිණෙන්නේ වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානයයි.

මෙය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ගුවන් යානයක් මෙන් තනිවමය. ආපසු පැමිණෙන්නේ පෘථිවි ගුරුත්වාකරණ බලය යොදා ගනිමින් පාවෙමිනි. පෘථිවියට ළං වෙද්දී ඇන්ජින් පණ ගැන්වෙයි. යානය ගුවන් යානයක් ලෙස ගොඩබෑම සිදු කරනු ඇත.
මෙම ඓතිහාසික ගමන සජිවීව වෙබ් නාළිකා ඔස්සේ විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත. අභ්‍යවකාශ ගමන සම්බන්ධ සියලු තොරතුරු සජීවී ලෙස ලොව සැමට විස්තර කිරීම සිදු කරන්නේ ප්‍රහසන නළු ස්ටීවන් කොල්බර්ට්ය.

ඊට අමතරව, ග්‍රැමී සම්මානලාභී ගායන කලීඩ් නව ගීතයක් නිර්මාණය කර ඇති බවත්, වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානය ආපසු පෘථිවියට පැමිණෙද්දී ඔහු එය ගායනා කරනු ඇති බවත් සී.එන්.එන්. පුවත් සේවය පවසා තිබේ.

අභ්‍යවකාශයට යෑම යනු, පෘථිවි වායුගෝලයේ ඉහළටම ගොස් 'කාමන් සීමාව' පසු කිරීමය. මෙම සීමාව පිහිටා ඇත්තේ කි.මී. 100 කට ඉහළිනි. පෘථිවි වායුගෝලයේ අද්දර එසේත් නැතිනම්, අභ්‍යවකාශය හමුවන සීමාව ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන්නේ මෙම සීමාවය. 'කාමන් සීමාව' එනමින් හැඳින්වෙන්නේ හංගේරියානු ඇමෙරිකානු ගගන ඉන්ජිනේරුවකු මෙන්ම භෞතික විද්‍යාඥයකු ද වන තියෙඩෝර් කාමන් ට ගරු කිරීමක් ලෙසය.

'කාමන් සීමාව' පසු කරද්දී, ශුන්‍ය ගුරුත්වයේ බලපෑම දැනෙන අතර සියල්ල පාවීමට පටන් ගනී. මෙම අපූරු අත්දැකීම විඳ ගැනීම සහ ඉහළ සිට දීප්තිමත් නිල්වන් පෘථිවිය සියැසින් දැක ගැනීමට සැලැස්වීම මෙම ගගන සංචාරවල අරමුණ වෙයි. ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගත හැකි මෙම අභ්‍යවකාශ සංචාර, මිනිත්තු 10 කට හෝ 12 කට සීමා වන බව ද පැවැසෙයි.

70 හැවිරිදි බ්‍රැන්සන් මෙම ගමනට එක් වන්නේ තනිවම නොවෙයි. නියමුවන්ට අමතරව තවත් තිදෙනෙක් ගමනට එක් වෙති. ඒ අනුව උඩු ගුවනට යන පිරිස 6 කි. ඔවුන් 'යුනිටි 22' යනුවෙන් හැඳින්වෙයි.

කණ්ඩායමට කාන්තාවන් දෙදෙනකු ඇතුළත් අතර, එයින් එක් අයකු ඇමෙරිකානු ඉන්දීය තරුණියක වීම විශේෂත්වයකි. ඇය ශ්‍රීෂා බණ්ඩාලා නමැති ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ තෙලිගු බස කතා කරන තරුණියයි. ඉන්දියාවේ උපන් ශ්‍රීෂා හැදී වැඩුණේ ඇමෙරිකාවේය. ශ්‍රීෂා වර්ජින් ගැලැක්ටික් සමාගමේ රාජ්‍ය කටයුතු සහ පර්යේෂණ මෙහෙයුම් කටයුතු සම්බන්ධ උප සභාපතිනියයි.


කල්පනා චෞලාගෙන් පසු ඉන්දියාවේ උපත ලැබූ තරුණියක අභ්‍යවකාශයට යෑම ඉන්දියාවට මහත් ආඩම්බරයකි. ඒ අනුව, චෞලාගෙන් පසු දෙවැනියට අභ්‍යවකාශයට යන්නේ ශ්‍රීෂා බණ්ඩාලා ය. ඉන්දීය සම්භවයක් ඇති, ඇමෙරිකාවේ උපන් රාඛේෂ් ශර්මා සහ සුනීතා විලියම්ස් ද අභ්‍යවකාශයට ගිය සෙසු ඉන්දියානුවන්ය.

ට්විටර් ගිණුම සමඟ සම්බන්ධ වී අදහස් දක්වමින්, ශ්‍රීෂා පවසා ඇත්තේ 'යුනිටි 22' කණ්ඩායමේ සාමාජිකාවක වීමට ලැබීම තමන්ට ලොකු ගෞරවයක් බවය. ලොව සැමට අභ්‍යවකාශයට යන්න මඟ පෙන්වන වර්ජින් සමාගම සමඟ එක්වීමට ලැබීම ගැනත් තමන් අතිශය සතුටට පත්වන බව ද ඇය ඇගේ ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබේ.

ශ්‍රීෂා මෙම ගමනට එක් වන්නේ විද්‍යාඥවරියක සහ පර්යේෂිකාවක ලෙසිනි. ශුන්‍ය ගුරුත්වයේ බලපෑම කෙසේ සිදුවන්නේදැයි ඇය පර්යේෂණ දත්ත රැස් කරනු ඇත. ඒ, ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලය වෙනුවෙනි. ඇය සමග කොලින් බෙනට් සහ බෙත් මෝසස් ද ගමනට සහභාගී වෙති. බෙත් මෝසස් යනු අනෙක් තරුණියයි. ඇය වර්ජින් ගැලැක්ටික් සමාගමේ ගගනගාමීන් පුහුණු කරන ප්‍රධානියාය. 2019 වසරේ වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානය අත්හදා බලද්දී ඇය එහි නැගී අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණියාය. කොලින් බෙනට් යනු වර්ජින් ගැලැක්ටික් සමාගමේ මෙහෙයුම් ඉන්ජිනේරුවරයාය.

අභ්‍යවකාශ ගමන් බිමන් වාණිජකරණය කරමින්, පෞද්ගලික  සංචාර ආරම්භ කරමින්, උඩු ගුවනට යෑමට ලොව බිලියනපතියන් තිදෙනකු තරඟයක පැටලී සිටි අතර‍, එම තරගය ජයගනු ඇත්තේ බ්‍රෙන්සන්ය. බ්‍රැන්සන්ට අභියෝග කරන අනෙක් බිලියනපතියන් දෙදෙනා ජෙෆ් බෙසෝස් සහ ඊලෝන් මස්ක් ය.

දකුණු අප්‍රිකාවේ උපන් ඇමෙරිකානුවකු වන ඊලෝන් මස්ක්, 'ටෙස්ලා', 'ස්පේස් එක්ස්' ඇතුළු සමාගම් රැසක හිමිකරුය. මේ වනවිට ඇමෙරිකා නාසා ආයතනය සමඟ එක්වී, අභ්‍යවකාශ ගමන් බිමන් සැලැසුම් කරන්නේ 'ස්පේස් එක්ස්' සමාගමය.

ජෙෆ් බෙසෝස් යනු ඇමසන් සමාගම ආරම්භ කළ තැනැත්තාය. ඇමෙරිකාවේ අංක එකේ පුවත්පතක් වන 'වොෂින්ටන් පෝස්ට්' හිමිකාරීත්වය ඇත්තේ ද ඔහුටය. පළමුවෙන් අභ්‍යවකාශ සංචාරයට යන්නේ තමන් යැයි බෙසෝස්  පැවැසුවේ පසුගිය ජූනි මාසයේය. බෙසෝස් ජූලි 20 වැනි දා, සිය අභ්‍යවකාශ ගමන ආරම්භ කිරීමට තෝරාගෛන ගෙන තිබේ. ඒ, නාසා ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සඳට පය තැබුවේ ජූලි 20 වැනිදා දිනයක නිසාය. කෙසේ නමුත් බෙසෝස්ට පෙර තමන් අභ්‍යවකාශයට යන බව බ්‍රැන්සන් නිවේදනය කළේ බෙසෝස් ද පුදුම කරමිනි.

කෙසේ නමුත් ගමන සාර්ථක වේවා යැයි බෙසෝස්, බ්‍රැන්සන්ට සුබ පැතූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අභ්‍යවකාශ සංචාරකයන් උඩු ගුවනට රැගෙන යෑමට බෙසෝස් පිහිටුවා ඇති සමාගම 'බ්ලූ ඔරිජින්' ය. බ්ලූ ඔරිජින් සමාගම කුඩා රොකට්ටුවක් සහ ගගන කැප්සියුලක් මේ සඳහා භාවිතයට ගනී. රොකට්ටුව හැඳින්වෙන්නේ 'නිව් ෂෙපර්ඩ්' යනුවෙනි. කැප්සියුලය 'බ්ලූ ඔරිජින්' ලෙස නම් කර ඇත. මෙම රොකට්ටුව සහ කැප්සියුල ද වසර ගණනක් තිස්සේ අත්හදා බලමින් නිපදවන ලද ඒවාය.

බෙසෝස් ලබන ජූලි 20 වැනිදා ඔහුගේ අභ්‍යවකාශ ගමනට තවත් තිදෙනකු හවුල් කර ගනී. එයින් එක් අයකු ඔහුගේ සොහොයුරා මාර්ක්ය. අනෙක් තැනැත්තා සුවිශේෂී අයෙකි. ඇය 82 හැවිරිදි වොලී ෆන්ක්ය. වොලී ෆන්ක් මෙම ගමනට එක් වනු ඇත්තේ බෙසෝස්ගේ විශේෂ ආරාධනාවකට අනුවය. වොලී දශක හයක් අභ්‍යවකාශයට යෑමට උත්සාහ කළත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු ගගනගාමිනියක යැයි මාධ්‍ය ඇය හඳුන්වා දෙමින් කියා සිටී. ඒ අනුව, අභ්‍යවකාශයට යන වයස්ගතම පුද්ගලයා වනු ඇත්තේ ද මැයයි.

බෙසෝස් සමඟ ජූලි 20 වැනිදා අභ්‍යවකාශ ගමනට එක් වන සිවුවැනියා ද කෝටිපතියෙකි. ගගන කැප්සියුලයේ ආසන වෙන්දේසි කරද්දී, ඔහු ඇමෙරිකන් ඩොලර් මිලියන 28 ක් ගෙවා ආසනයක් වෙන් කර ගත්තේය. ඔහු කවුරුන්දැයි තවමත් අනාවරණය වී නොමැති අතර රටවල් 136 කින් බිලියනපතියන් 5,200 ක් ලංසු ඉදිරිපත් කර තිබුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

(සී.එන්.එන්.)


RECOMMEND POSTS