එන්ඩකාසිගේ සමුගැනීම



සෙල්ෆි ඡායාරූපවල පෙනී සිටිමින්, සමාජ මාධ්‍ය ඔස්සේත් අන්තර් ජාල පුවත් සේවා ඔස්සේත් ලෝකයේ අවධානය දිනූ කොංගෝවේ එන්ඩකාසි නමැති ගොරිල්ලා ධේනුව පසුගිය දා ජීවිතයෙන් සමුගත්තාය.

මියයද්දී එන්ඩකාසි ගේ වයස අවුරුදු 14 ක් බවත්, ඇය වසර ගණනාවක් තිස්සේ රෝගාබාධවලින් පෙළෙමින් සිටි බවත් ඇය ආදරයෙන් රැක බලා ගත් කොංගෝ වන අඩවි නිලධාරී ආන්ද්‍රේ බෝමා ඉතා හැඟීම්බර ඉන්ටග්‍රෑම් පණිවුඩයකින් පවසා ඇත.

වසර 10 ක් තිස්සේ එන්ඩකාසි රැකබලා ගත්තේ ආන්ද්‍රේ බෝමා ය. එන්ඩකාසි අවසන් සුසුම් හෙලුවේ බෝමා තුරුළු කර ගනිමිනි. එම ඡායාරූප ද මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ කාගේත් ඇසට කඳුලක් එක් කරමින්ය.

එන්ඩකාසි කඳුකර ගෝරිල්ලෙකි. කොංගෝ කඳුකර ගෝරිල්ලන් වදවීයෑමේ තර්ජනයට මුහුණ දී සිටින අතර, උන් රැක බලා ගැනීමට කොංගෝ රජය වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර සහාය මේ සඳහා හිමිවෙයි.

2007 වසරේ දී, බෝමා ට දඩයක්කරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වී මියගිය ගොරිල්ලා මවක තුරුලු කරගෙන සිටි මාස දෙකක කුඩා පැටවකු හමුවිය. ඒ, එන්ඩකාසි ය. තනිවම කැළයේ ජීවත් වීමට නොහැකි තත්ත්වයක සිටි බැවින්, අනාථ ගොරිල්ලන් රැක බලා ගන්නා 'සෙන්වෙකේවේ' මධ්‍යස්ථානයට එන්ඩකාසි රැගෙන එනු ලැබුණි. එදා පටන් මියයනතුරු බෝමාගේ රැකවරණයේ එන්ඩකාසි හැදී වැඩුණාය.

''එන්ඩකාසි මහා වානරයෙක්. මහා වානර පවුල මනුෂ්‍ය අපට සමානයි. ඇය තරම් අහිංසක සතකු මා වෙන දැක නැහැ. මම ඇයට ආදරේ දුන්නා. කරුණාව සහ රැකවරණය දුන්නා. ඇය ඇගේ මිත්‍රත්වය මට දුන්නා.'' යැයි බෝමා පළ කර ඇති ඉන්ටග්‍රෑම් පණිවුඩයේ සඳහන් වෙයි.

එන්ඩකාසි සමඟ 'සෙන්වෙකේවේ' මධ්‍යස්ථානයට ගෙන ආ තවත් ගොරිල්ලා ධේනුවක වන්නේ ඩේසේ ය. එන්ඩකාසි සහ ඩේසේ දෙදෙනාම මනුෂ්‍යයන් මෙන් කුතුහලයෙන් සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිට ඇත. එන්ඩකාසි සම්බන්ධයෙන් වාර්තා වැඩසටහන් රැසක් ද නිපදවා තිබේ.

(බීබීසී)


RECOMMEND POSTS