මවු කිරිවලින් ප්ලාස්ටික් විෂ හමුවෙලා



මවු කිරිවල, විෂ මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක තිබී හමුවුණු බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් පවසති. ඒ අනුව, මවු කිරිවල ප්ලාස්ටික් විෂ හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

ඉතාලි වෛද්‍ය පර්යේනේ මේ බව ලොවට අනාවරණය කළේ ඉතාලි මවුරුන් 34 දෙනකුගෙන් ලබා ගත් කිරි සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුවය. මෙම මවුරුන් 34 දෙනා, දරු ප්‍රසූතිය සිදුවී සතියක් ගත වුණු මවුවරුන් බව ද ඉතාලි වෛද්‍ය පර්යේෂකයන් පැහැදිලි කර තිබේ.

“ප්ලාස්ටික් විෂ ජීවීන්ගේ සිරුරුවලින් හමුවීම බිහිසුණු තත්ත්වයක්. ඒවා සෛලවලට බලපානවා. පිළිකා ඇති කරනවා. මවු කිරිවල ප්ලාස්ටික් විෂ තිබීම කොතරම් බිහිසුණු තත්ත්වයක් දැයි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. එම විෂ මවට පමණක් නොව, කිරිබොන දරුවාටත් ලොකු හානියක් සිදු කරාවි” යැයි පර්යේෂණයට සම්බන්ධ වූ ඉතාලි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මයික්‍රෝ-ප්ලාස්ටික් (ක්ෂුද්‍ර-ප්ලාස්ටික්) ලෙස හැඳින්වෙන්නේ මිලිමීටර් 5 ට අඩු දිගකින් යුත් ප්ලාස්ටික් අංශුය. මේ වනවිට ප්ලාස්ටික් විෂ පරිසරය දූෂණය කර අවසන්ය. පළමුවෙන් මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක හමුවූයේ සාගර ජීවීන්ගෙනි. ඒ, ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුලව සාගරයට බැහැර කරන බැවිනි.

ඉන්පසු කෙමෙන් කෙමෙන් ගොඩබිම වෙසෙන ජීවීන්ගේ සිරුරුවලින් ද මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක විද්‍යාඥයන්ට හමුවී ඇත. මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් අඩංගු බව තහවුරු වීමෙන් පෙනී යන්නේ මනුෂ්‍යයන්ගේ සිරුරුවල ද ප්ලාස්ටික් විෂ අඩංගු වන බව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS