පිඹුරාට ගොදුරු වුණු ජෆ්රා



54 හැවිරිදි ජෆ්රා, ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ජම්බි පළාතේ කුඩා ගම්මානයක පදිංචිකාරියකි. ඇය ඇගේ නිවසට නුදුරින් පිහිටි රබර් වත්තක රැකියාව කරයි. පසුගිය ඉරිදා උදෑසන රැකියාවට ගිය ජෆ්රා සවස යළි නිවසට පැමිණියේ නැත. ජෆ්රා, නිවසට පැමිණෙන තුරු ඇගේ සැමියා බලා සිටියේය. රෑ බෝ වී එද්දී ඔහුට බියක් දැනෙන්න විය. බිරිඳට කිසියම් කරදරයක් වන්න ඇතිදැයි ඔහු කල්පනා කළේය. ගමේ හිතවතුන් කීප දෙනකු ද සමඟ ගෙම්මන් අඳුරේ ඔහු බිරිඳ සොයා ගියේය.

ඇය එදින උදෑසන රබර් කිරි කැපීමට පැමිණ තිබුණි. ඇය කිරි කැපීමට ගියේ කුමන ඉස්ව්වටදැයි දැනගත් සැමියා සහ බිරිඳ අඳුරු රබර් වත්තට ගියහ. බිරිඳ පැලඳ සිටි සළුපට, ඇගේ සෙප්පු කුට්ටම, සහ ඇය රබර් කිරි කැපීමට ගෙන ආම්පන්න බිම තැනින් තැන වැටී තිබෙනු දකින්න ලැබුණි. ජෆ්රාට යම් අනතුරක් සිදුවුණු බව පැහැදිලිය.

ජෆ්රා ගිල්ල මාරයා ඒ අසල නිසොල්මසනේ සිටියේය. ඒ, මීටර් 7 ක් දිග යෝධ පිඹුරෙකි. උගේ බඩ පිම්බී විශාල වී තිබුණි. සැමියා විලාප දෙද්දී, ගම්වාසීන් පිඹුරා මරා, උගේ බඩ කපා බලද්දී ඔවුන්ට දකින්න ලැබුණේ ජෆ්රාගේ නිසල දේහයයි. එය ජෆ්රාගේ සැමියාට පමණක් නොව, ගම්වාසීන්ට ද බිහිසුණු අත්දැකීමක් වූ බව නිසැකය. පොලිසිය පැමිණ පරීක්ෂණ කටයුතු පැවැත් වූයේ ඉන්පසුවය.

“ජෆ්රා නමැති ඒ කාන්තාව එදා තනිවම රබර් වත්තට ගිහින් තියෙනවා කිරි කපන්න. ඉරිදා දවසක් නිසා ඇය පමණයි එදා වැඩට ගිහින් තියෙන්නේ. ඇය නොදැනුවත්වම යෝධ පිඹුරාගේ ගොදුරක් වෙන්න ඇති. ඇය කෑ ගසන්න ඇති ඒත් අහල පහල කිසිවකුවත් නොසිටි නිසා ඇය බේරා ගන්න හැකියාවක් ලැබිලා නැහැ” යැයි සිද්ධිය ගැන අදහස් දක්වමින් පොලිස් ප්‍රධානී එස්. හරේෆා ‘ඩෙටික්’ පුවත්පතට පවසා තිබේ.

සාමාන්‍යයෙන් වසරකට විෂ ඝෝර සර්පයන්ගේ දෂ්ටනයන් මිලියන 5.4 ක් පමණ ලොව නන්දෙසින් වාර්තා වෙයි. එයින් මියයන්නේ මිලියන 1.8 ක් හෝ 2.7 ක් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවල දැක්වෙයි. පිඹුරන් යනු සර්ප පවුලේ දැවැන්තයන්ය. පිඹුරන් විස නැත. උන් දෂ්ට කරන්නේ ද නැත. පිඹුරන් කරන්නේ ගොදුරු වෙලා ගනිමින්, හුස්ම හිර කරමින්, එක කටට ගිල දැමීමය. පිඹුරන් මිනිසුන් ගොදුරු කර ගනිමින් ගිල දැමීමේ පුවත් වාර්තා වන්නේ කලාතුරකිනි. කෙසේ නමුත් ඉන්දුනීයාවෙන් මෙවැනි පුවත් සුලබව වාර්තා වේ.

ඉන්දුනීසියාවේ තෙත් වනාන්තරවල ඇනකොන්ඩාවන් හා සමාන යෝධ පිඹුරන් දකින්න ලැබේ. 2018 දී ඉන්දුනීසියාවට අයත් මූනා නමැති දූපතේ තරුණයක ද මේ අයුරින් පිඹුරකුගේ ගොදුරක් බවට පත් වූ බව මාධ්‍ය සිහිපත් කරයි. 2017 වසරේ දී සුලවේසී දූපතේ ගොවියකු ද පිඹුරකුගේ ගොදුරක් බවට පත් විය.

ඉන්දුනීසියානු මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS