එන්නත් විදලත් කොරෝනා හැදෙන්නේ ඇයි?



එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තත් කොවිඩ් රෝගය සෑදෙන්නෙ ප්‍රධාන වශයෙන් ශරීරයේ ප්‍රතිශක්තිය නියම ප්‍රමාණයට ගොඩනැගුණු නැති  නිසා හෝ එම ප්‍රතිදේහ ක්‍රියා නොකරන වෙනත් කොවිඩ් ප්‍රභේදයක් ශරීර ගත වීම නිසාය.

කලින් කොවිඩ් රෝගය ආසාදිතවුනු අයෙකුට වුවද මේ හේතුව නිසාම නැවත කොවිඩ් ආසාදනය විය හැක.

තමන්ගේ ශරීරයේ අවශ්‍ය පමණ කොවිඩ් ප්‍රතිදේහ තිබෙනවාද කියා මැන බලන රුධිර පරීක්ෂණයක් පුද්ගලික රෝහලක හෝ තෝරාගත් අයට රජයේ රෝහල් වලදිත් සිදුකර ගත හැක.

Covid IgG Antibody test යනු එම පරීක්ෂණයයි. (මෙය Covid antigen test ලෙස වරදවා නොගන්න. එය රෝගය සෑදුනාදැයි සොයන පරීක්ෂණයකි.)

Covid IgG Antibody test ඕනෑම කෙනෙකුට සිදු කර ගත හැක.

විශේෂයෙන් කලින් කොවිඩ් රෝගය සෑදුනු අය, පූර්ණ එන්නත් කරණය ලබා ගත් අය, පලමු මාත්‍රාව ලබා දෙවෙනි එක පමා වෙවී කලබල වී  සිටින අය, හෝ සාමාන්‍ය ජනතාව අතුරින් ශරීරයට නිකම්ම කොවිඩ් ඇවිත් හොඳ වුණාද කියා බලා ගැනීමට කැමති අය , හෝ කැමැති ඕනෑම කෙනෙකුට. විශාල මුදලක් වැය නොකර මෙය සිදුකර ගත හැක.

අවශ්‍ය තරම් ප්‍රතිදේහ ශරීරයේ තිබෙනවා නම් ආරක්ෂාව අතින් බොහෝ සුරක්ෂිතය. ඒ නිසා එන්නත්  ගැන විශ්වාසය තබන්න.

එසේ වුවත් ප්‍රතිදේහ ක්‍රියා  නොකරන වෙනත් නව ප්‍රභේදයක් ශරීර ගත වුවහොත් ප්‍රබල  ආරක්ෂාවක් නොලැබේ. එනිසා එන්නත් දෙකම ලබා මාසයක් පසුවන විට බහුතරයකට පූර්ණ ආරක්ෂාවක් ලැබෙන
අතර තම තමන්ගේ වයස, රෝගී තත්ව, දුබලතාවන්  අනුව ශරීරයේ  සෑදෙන ප්‍රතිශක්ති ප්‍රමාණය ද වෙනස්වේ.

විවිධ එන්නත්වල ඵලදායිතාව (efficiency ) හා efficacy (සාර්ථක භාවය) වෙනස් වීමද මෙයට යම් ආකාරයක බලපෑමක් ඇත.

එන්නත් නිසි ප්‍රමිතියකින් ගබඩා නොකර ප්‍රවාහන කටයුතු ද , ලබා දෙන අයුරුද එසේ නිසි ප්‍රමිතියකින් නොකිරීමෙන් එන්නත් වල ක්‍රියාකාරිත්වය  අඩපණ වේ. (උදාහරණයක් ලෙස කල් තබා ගන්නවා නම් ෆයිසර් එන්නත් -70, 80 අතර ගබඩා කල යුතුය.)

සෞඛ්‍ය නීති රීති පිලිනොපැදීමත්  මෙසේ ආසාදන ඇති වීමට ප්‍රධානම කාරණයක්  විය හැකිය. එනිසා කලින් කොවිඩ් සෑදී තිබුනත්, පූර්ණ එන්නත් කරණය ලබා තිබුනත්,  සෞඛ්‍ය  නීති රීති පිලිපැදීම තමන්ගේම වැඩි ආරක්ෂාව සඳහාය.

නැතිනම් ඔබට කොරෝනා නව ප්‍රභේදයක් සෑදීමට ඉඩ තිබෙනවා සේම එන්නත් ලබා සිටියත් ඔබෙන් වෛරසය නිවසේ එන්නත් ලබා නැති අනෙක් අයට බෝවිය හැක.

අපට සතුටුයි කිව හැකි පුවතක් වන්නේ පූර්ණ එන්නත් කරණය ලබා සිටින අයට හෝ කලින් කොවිඩ් සෑදී  නැවත රෝගය සෑදුනොත් ඒ අයගේ රෝග තත්වය භයානක වීමත්, අසාධ්‍ය වීමත් අඩුවන අතර දැඩි සත්කාර ඒකක වලට ඇතුලු කිරීම්ද අඩුබව  සංඛ්‍යාලේඛණ වලින් පෙන්නුම් කරන බවය.

සමහර විදේශ රටවල මෙන්ම අපේ රටේද  පූර්ණ එන්නත්කරණය ලැබුනා කියා මේ කරුණු හරි හැටි තේරුම් නොගෙන සෞඛ්‍ය නීති ලිහිල් කර යම් තරමකට රට අමාරුවට වැටී ඇත.

එනිසා එන්නත් කරණයත් සෞඛ්‍ය නීති පිළිපැදීමත්  අපේ එකම ගැලවුම බව හැමෝම සිහියේ තබා ගන්න.

විශේෂඥ වෛද්‍ය
ආර්.එන්.ජී රාජපක්ෂ


RECOMMEND POSTS